දින 196 කට පසු ප්‍රංශ ගගනගාමියා පොළොව සිප ගනී



පොළොවෙන් එපිට පිහිටි ජාත්‍යයන්තර අභ්‍යවකාශ පරීක්ෂණ මධ්‍යස්ථානයේ දින 196ක පරීක්ෂණ චාරිකාවකින් පසු 39 හැවිරිදි ප්‍රංශ ජාතික අජටාකාශ ගගනගාමී තෝමස් පැස්කේ හා ඔහු සමග එම චාරිකාව නිමකළ රුසියානු ජාතික ගගනගාමී ඔලෙග් නොවිට්ස්කි ජුනි මස 02 වැනිදා ප්‍රංශ වේලාවෙන් හරියටම සවස 04.10 ට කසක්ස්ථානයේ ස්ටෙප්ස් තෘණ භූමියට නිරූපද්‍රිතව ගොඩ බැස්සුවේය.

ඉහත ගගනගාමීන් දෙදෙනා රැගත් සෝයුස් එම් එස් 03 වර්ගයේ අභ්‍යවකාශ යාත්‍රාව 2016 නොවැම්බර් මස 17 වැනිදාා කසක්ස්ථානයේ පිහිටි බෙයිකොනූර් අජටාකාශ මධ්‍යස්ථානයෙන් ගුවන් ගත කළේය. පෘතුවියේ සිට කලෝ මීටර 400ක් දුරින් පෘතුවියේ ගුරුත්වාකර්ෂණයෙන් එපිට පිහිටි පාවෙන ජාත්‍යන්තර අභ්‍යවකාශ පරීක්ෂණ මධ්‍යස්ථානයේ පරීක්ෂණ සිදු කරන වෙනත් ගගනගාමීන් තිදෙනෙකු හා එක්වෙන ඔවුන් එතැන් සිට දින 196 ක් එම මධ්‍යස්ථානයේ පරීක්ෂණ කටයුතු වල නිරත වෙමින් ඔවුන්ට සහාය වුයේය.

ජුනි මස 02 වැනි දින දහවල් 12.50ට අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් වෙන් වෙන සෝයුස් යානය පෘතුවි ගුරුත්වාකර්ශණ සීමාවට සවස 15.52ට ළඟා වෙන්නේය. එතැන් සිට සෙන්ටිග්‍රේඞ් අංශක 1600 කට ගිනියම්වූ යානය පැයට කලෝ මීටර 28000ක වේගයෙන් පොළොව බලා පැමිණේ. පොළොවට කි:මී: 10.5ක් තිබියදී ප්‍රථම පැරෂුටයත් කි:මී: 8ක් තිබියදී දෙවැනි පැරෂූටයත් ක්‍රියාත්මක වෙමින් පොළොව බලා පැමිණෙන වේගය කි:මී: 22ක් දක්වා පහළ බැස පොළොවට පතිත වෙන අවසාන වේගය පැ:කි:මී: 5ක් පමණ වන්නේය.

පොළොවට පැමිණි ගගන ගාමීන් දෙදෙනා ප්‍රථමයෙන් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදුකරන පරීක්ෂණ වලින් පසු විශේෂ රුසියානු හෙලිකොප්ටර් යානයකින් කසකස්ථානයේ ප්‍රදේශීය කරගන්ඩා ගුවන් තොටුපොළට රැගෙන එන්නේය. එතැන් සිට විශේෂ ගුවන් යානයකින් ප්‍රංශ ජාතික ගගනගාමියා ඔහුගේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ප්‍රංශ ජාතික බි්‍රජට් ගොඩාර් ප්‍රමුඛ කණ්ඩායමක් සමග ලෝකයේ දෙවැනි විශාලතම අභ්‍යවකාශ මෙහෙයුම් මැදිරිය වන වයඹ දිග ජර්මනියේ කොලොන් නගරයේ පිහිටි යුරෝපා අභ්‍යවකාශ මධ්‍යස්ථානයට රැගෙන එන්නේය. රුසියානු ගගනගාමියා රුසියාවේ පිහිටි යුරි ගගාරින් අභ්‍යවකාශ මධ්‍යස්ථානයටද රැගෙන එන්නේය. එහිදී දින 7ක පමණ වෛද්‍ය පරීක්ෂණ වලින් පසු ඔහුගේ ළගම ඥාතීන් හමුවීමට අවසර ලැබේ.

කෙසේ නමුදු පොළොව සිප ගත් සෝයුස් යානයෙන් පිටතට පැමිණෙන ප්‍රංශ ගගනගාමියා ප්‍රථමයෙන් තම සහකාරිය ඈන් මොටේ සමගත් ඉන්පසු ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් මහතා සමගත් පැරීසියේ පිහිටි අභ්‍යවකාශ මෙහෙයුම් මැදිරියක සිට සැටලයිට් දුරකථන මාර්ගයෙන් සුභ පතමින් වසර දෙකකට වරක් පැරීසියේ පවත්වන ලෝකයේ විශාලතම ගුවන්යානා ප්‍රදර්ශනයේදි ජුනි මස 09 වැනි දින මුණ ගැසීමට ඇරයුම් කරන්නේය. මේ අනුව අභ්‍යවකාශය තරණය කළ 10 වැනි ප්‍රංශ ජාතික ගගනගාමියා ලෙස තෝමස් පෙස්කේ ප්‍රංශ ඉතිහාසයට එක්වේ.

1978 පෙබරවාරි 27 උතුරු දිග ප්‍රංශයේ රුවන් නගරයේ උපත ලබන ඔහු උසස් අධ්‍යාපනයෙන් පසු දකුණු දිග ප්‍රංශයේ තුලුස් නගරයේ පිහිටි ගගනගාමි ඉංජිනේරු උසස් අධ්‍යාපන පීඨයෙන් උපාධිය හිමිකර ගනිමින් ප්‍රංශ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉංජිනේරුවෙකු ලෙස සේවයට එක්වේ. අනතුරුව වර්ෂ 2004 සිට 2009 දක්වා ප්‍රංශ ගුවන් සේවයේ ප්‍රධාන ගුවන් නියමුවෙකු ලෙස සේවයට බැඳේ. එහිදී ඔහු පැය 2800 ක ගුවන් පියාසර කාලයක් සම්පූර්ණ කරන්නේය. ඉන්පසු ලෝකයේ විවිධ අයදුම්කරුවන් 8000ක් අතරින් තෝරා ගන්නා තෝමස් පෙස්කේ එතැන් සිට කොලොන්හී පිහිටි යුරෝපා අභ්‍යවකාශ මෙහෙයුම් හා පුහුණු මධ්‍යස්ථානයට එක්වේ. අනතුරුව වසර 2014 සිට 2016 දක්වා ඉහත මෙහෙයුමට පුහුණුව ලබන්නේය. ඉන්පසු 2016 නොවැම්බර් මස ගුවන් ගත වෙන ඔහු දින 196 කට පසු 2017 ජුනි 02  වැනිදාා නිරූපද්‍රිතව පෘතුවියට ළඟා වෙන්නේය.

සුනිල් ආනන්ද
පැරීසියේ සිට

 


RECOMMEND POSTS