ට්‍රම්ප් නම නිසා පීඩාවට පත් වුණු පොඩ්ඩා



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, එරට කොංග්‍රස් මණ්ඩලයට සිය ප්‍රතිපත්ති කතාව ඉදිරිපත් කළ අවස්ථාවේදී, ට්‍රම්ප් සහ ආර්යාව මෙලානියාගේ විශේෂ ආරාධනාවකට අනුව, 11 හැවිරිදි පාසල් දරුවකු ද එම අවස්ථාවට සහභාගී වී සිටියේය.

එම දරුවා ජොෂුවා ට්‍රම්ප් නමැති පාසල් සිසුවාය. ජොෂුවා ගැන ට්‍රම්ප් මහත් ආඩම්බරයෙන් කතා කළ අතර, මේ වනවිට ඔහු ඇමෙරිකාවේ පමණක් නොව, මුළු ලෝකයේ ම අවධානය දිනා සිටී.

ජොෂුවා ට්‍රම්ප් ඇමෙරිකාවේ ඩෙලවෙයාර් හි විල්මිංග්ටොන් නුවර පදිංචිකරුවෙකි. ට්‍රම්ප් වාසගම ඇතත් මේ සිසුවා සහ ජනපති ට්‍රම්ප් අතරේ කිසිදු ඥාති සම්බන්ධයක් නැත.

කෙසේ නමුත්, ජනපති ට්‍රම්ප් බොහෝ දෙනාගේ  අප්‍රසාදයට ලක් වී ඇති බැවින්, 2017 වසරේ සිට ජොෂුවා ට්‍රම්ප් පාසලේ සෙසු දරුවන්ගේ කෙණෙහිලිකම්වලට සහ අඩන්තේට්ටම්වලට ලක්විය.

ජොෂුවාට කරදර කළ දරුවන්ට එරෙහිව පාසල් බලධාරීන් විනය ක්‍රියාමාර්ග ගෙන තිබුණත් ජොෂුවාට එල්ල වූ හිරිහැර සහ කරදර අඩුවක් නොවීය.

 කෙණෙහිලිකම් ඉවසා ගැනීමට නොහැකිව සිත් තැවුලටත් මානසික පීඩනයකටත් පත් වුණු ජොෂුවාගේ පාසල් ගමන ද නැවැතිණි.

ජොෂුවාගේ මව මෝගන්, නිවසේ රඳවා ගනිමින් වසරක කාලයක් අධ්‍යාපනය ලබා දීමට කටයුතු කළ බව ද පැවැසෙයි.

යළිත් වෙනත් පාසලකට ජොෂුවා ඇතුළත් කළ අවස්ථාවේදී පෙර පරිදිම ඔහු කෙණෙහිලිකම්වලට ලක් වී ඇත.

නම වෙනස් කරන්නැයි බොහෝ දෙනා ජොෂුවාට පවසා ඇති නමුත් ජොෂුවා සහ ඇගේ මව එම අදහස ප්‍රතික්ෂේප කර ඇත.

ජොෂුවා ගැන දැනගත් සැණින්, ජනපති ආර්යා මෙලානියා ඔහුට සහ ඔහුගේ මව මේගන්ට ඇමතුමක් ලබා දුන්නාය.

ජොෂුවාට  සිදුවුණු අසාධාරණය සම්බන්ධයෙන් කනගාටුව පළ කරමින්, ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති කතාවට සහභාගී වෙන්නැයි මෙලානියා ට්‍රම්ප් ඔහුට ඇරැයුම් කළාය.

ඇමෙරිකාවේ සම්ප්‍රදායට අනුව ඇමෙරිකා ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති කතාව පවත්වද්දී, කැපී පෙනෙන සහ ඇගයීමට ලක්වන ඇමෙරිකානුවන්ට ද ඊට සහභාගී වීමට ඇරැයුම් ලැබේ. මෙවර ඇරැයුම් ලැබූ පිරිස අතර ජොෂුවා ද සිටියේය.

ජනපති ට්‍රම්ප් ප්‍රතිපත්ති කතාව ඉදිරිපත් කරද්දී, මෙලානියා ට්‍රම්ප් ප්‍රමුඛ ධවල මන්දිර කාර්ය මණ්ඩල සාමාජිකයෝ ඔවුන්ට වෙන්වූ බැල්කනියට පැමිණ සිටියහ.

කාන්තාවන්ට ඡන්ද බලය ලබා ගැනීම වෙනුවෙන් කළ සටන සිහිපත් කරමින් ඩිමොක්‍රටික් මන්ත්‍රීවරියන් සුදු ඇඳුමින් සැරැසී සිටිද්දී, ඇමෙරිකා ජනාධිපති ආර්යාව කැපී පෙනන අයුරින් කළු ඇඳුමින් සැරැසී සිටියාය.

ජොෂුවා පමණක් නොව, මොළයේ ගෙඩියකින් පීඩා විඳිමින් ශල්‍යකර්ම රැසකට භාජන වූ ග්‍රේස් එලන් නමැති දැරිය ද මෙවර ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති කතාවේ දී ඇගැයීමට ලක් වූවාය.

ග්‍රේස් එලන් සහ ජෝෂ් දෙදෙනා අසුන් ගෙන සිටියේ මෙලානියා අසලය. කෙසේ නමුත් ට්‍රම්ප්ගේ දීර්ඝ දේශනය රාත්‍රී 10.30 පසු කරද්දී, ජොෂුවා නින්දට වැටී සිටිනු අයුරු ද දකින්න ලැබුණි.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS