කිරුළ එපා කී රූ රැජින !



සෝයි ස්මේල් (Zoiey Smale) පසුගියදා නොටින්හැම් ප්‍රදේශයේ පැවති රූ රැජින තරගයකදී බ්‍රිතාන්‍ය රූ රැජින ලෙස කිරුළු පැළඳුවද "මහත වැඩි" බැවින් ආහාර ගැනීම පාලනය කළ යුතු යයි එහි සංවිධායකයන් ඒ අතර තමන්ට දැනුම් දුන් බව සෝයි පවසයි.

ඉන් අනතුරුව එක්වදෝරයේ පැවැත්වීමට නියමිත Miss United Continents 2017 ජාත්‍යන්තර රූ රැජින තරගයේදී බ්‍රිතාන්‍යය නියෝජනය කිරීම ඇයගේ බලාපොරොත්තුව විය.

රූ රැජින තරගයෙන් ජයග්‍රහණය කළ නමුත් සංවිධායකයන්ගේ එම ප්‍රකාශය නොතකා ජාත්‍යන්තර රූ රැජින තරගයට ඉදිරිපත් විය යුතු යයි මුලින් අදහස් කළ නමුත් එය කාන්තාවන්ට කළ අපහාසයක් බැවින් එයට විරෝධය දැක්වීම පිණිස සිය කිරුළ ආපසු භාර දුන් බව ඇය පවසන්නීය.

සැප්තැම්බර් 23 වෙනි දින පැවැත්වෙන ජාත්‍යන්තර තරගයට සහභාගි වීම පිණිස ඇය එක්වදෝරය බලා පිටත්වීමට නියමිතව සිටියාය. ජාත්‍යන්තර රූ රැජින තරගයේ අධ්‍යක්ෂවරියගේ අදහසක් දැනුම්දිය යුතු බව දේශීය තරගයේ අධ්‍යක්ෂවරිය ඇයට පවසා තිබෙන්නේ ඒ අතරවාරයේය. ඇය තරබාරු බැවින් ආහාර ගැනීම පාලනය කළ යුතු බව ඒ පණිවුඩයයි. "මට අදහගන්න බැරිව ගියා. ආයේ සිහි එළවගන්න මට ටික වෙලාවක් ගතවුනා."

"මම හිතන්නේ කාන්තාවන් දිරි ගැන්වීම ඉතාම වැදගත්. ඒ වගේම සෞඛ්‍ය සම්පන්න, නිසි අධ්‍යාපනයක් සහිත ආදර්ශමත් චරිතයක් වීම යහපත් දෙයක් බව දැන සිටීමත් ඉතාමත්ම වැදගත්," යනුවෙන් ද ඇය සඳහන් කරන්නීය.

දශකයකට ආසන්න කාලයක් මුළුල්ලේ රූ රැජින තරගවලට සහභාගිවන 28 හැවිරිදි සෝයි, Miss United Continents UK 2017 ලෙස පසුගිය ජුනි මාසයේ කිරුළු පැළඳුවේ අවසාන මහා තරගයට සහභාගි වූ තරුණියන් 11 දෙනෙකු පරදවමිනි.

රූ රැජින කිරුළ ආපසු භාරදීමේ තීරණය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව සිය තීරණයට බොහෝ දෙනාගේ සහාය පළ වූ බව සෝයි ස්මේල් පවසයි. "මගේ පණිවුඩය එයාලගේ දුවලට කියා දීපු දාස් ගණන් කාන්තාවෝ මට පණිවුඩ එවුවා.හිතාගන්න බැරි තරම් කෙට්ටු නිරූපිකාවෝ තමයි සාර්ථකම අය කියල හුවා දක්වන්න මේ ලෝකේ මිනිස්සු උත්සාහ කරන එක හරිම කණගාටුදායකයි."

( තිළිණි ද සිල්වා )

බී.බී.සී ඇසුරෙනි.


RECOMMEND POSTS