උතුරු කොරියාවේ මිතුරා - සිංගප්පූරුව



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර මුහුණට මුහුණ පැවැත්වෙන ඓතිහාසික ‘සාම සමුළුවට’ තව ඇත්තේ දින දෙකකි. සමුළුව 12 වැනිදා අඟහරුවාදා දිනයේ සිංගප්පූරුවේ දූපත් 63 අතරින් එකක් වන සෙන්ටෝසා දූපතේ, ‘කැපෙල්ලා’ නමැති තරු පහේ හෝටලයේදී පැවැත්වෙයි.

‘සාම සමුළුව’ සඳහා සියලුම කටයුතු සූදානම් වී අවසන්ය. උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් ඔවුන්නොවුන්ගේ නියෝජිතයන් ද පිරිවරාගෙන සමුළුවට සහභාගී වනු ඇත.

මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කරමු යැයි ඇමෙරිකා ජනාධිපතිවරයාට ආරාධනා කළේ උතුරු කොරියානු නායකයාය. ඒ දකුණු කොරියානු නියෝජිත පිරිසක් හරහාය ඒ අනුව, සමුළුව පැවැත්වෙන ස්ථානය ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි. අවසානයේදී සිංගප්පූරුව ඒ සඳහා සුදුසු යැයි යෝජනා කෙරුණු අතර උතුරු කොරියාව ඊට එකපයින් කැමැත්ත පළ කළේය.

‘හිතුවක්කාර න්‍යෂ්ටික වැඩසටහන’ මුල්කොට ගනිමින්, ඇමෙරිකාව පමණක් නොව, එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවටත්, උතුරු කොරියානුවන්ටත් සම්බාධක පනවා ඇත. මෙම සම්බාධක හේතුවෙන් උතුරු කොරියාවට බොහෝ රටවල් සමඟ ව්‍යාපාර ගනුදෙනු කළ නොහැකිය. ඔවුන් වෙළෙඳ ගනුදෙනු කරන එක් ප්‍රධාන මිතුරකු (චීනය හැර) ලෙස සැලකෙන්නේ සිංගප්පූරුවයි. එහෙයින්, උතුරු කොරිවා නායකයාට හෝ උතුරු කොරියානුවන්ට හෝ සිංගප්පූරුව ආගන්තුක තැනක් හෝ නුහුරු තැනක් හෝ නොවෙයි.

වීසා නොමැතිව උතුරු කොරියානුවන්ට යා හැකි තැනක් ලෙස සිංගප්පූරුව සැලකිණි. කෙසේ නමුත් පසුගිය වසරේ උතුරු කොරියාවේ මිසයිල වැඩසටහනට විරෝධය පෑමක් ලෙස, ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් උතුරු කොරියාවට නව සම්බාධක පැනැවීම් කළේය. උතුරු කොරියාවට සම්බාධක පනවන්නැයි චීනයේ ද සහාය ප්‍රාර්ථනා කළේය. ඒ අනුව චීනයෙන් ද උතුරු කොරියාවට සම්බාධක පැනැවිණි. මෙය උතුරු කොරියාවේ පැවැත්මට තර්ජනයක් විය. වීසා නොමැතිව සිංගප්පූරුවට යෑමට තිබුණු අවස්ථාව ද ඇණ හිටියේය. උතුරු කොරියා නායක කිම් ජොන් උන්, ට්‍රම්ප් හමුවී සාකච්ඡා කිරීමට මඟ සකස් වූයේ මේ අනුවය.

උතුරු කොරියාව, සිංගප්පූරුවේ ඔවුන්ගේ තානාපති කාර්යාලයක් පවත්වාගෙන යයි. එක්සත් ජාතීන්ගේ සම්බාධක මැද පවා, සිංගප්පූරු සමාගම් රහසේ උතුරු කොරියාව සමඟ ගනුදෙනු සිදු කරනවා යැයි නිරන්තරයෙන් චෝදනා ද එල්ල වෙයි. කෙසේ නමුත් එම සමාගම්, එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. එපමණක් නොව, 2016 වසරේ දී ඇමෙරිකාවේ වොෂින්ටන් පෝස්ට් පුවත් පත අනාවරණය කළේ සිංගප්පූරුව සහ උතුරු කොරියාවේ යොංග්යැංග් අගනුවර අතර නැව් මගින් භාණ්ඩ ප්‍රවාහන කටයුතු රහසේ සිදුවන බවය.

උතුරු කොරියා නායක කිම් ජොන් උන් මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ කර ඇති බවට ජාත්‍යන්තර අපරාධ අධිකරණය චෝදනා එල්ල කර ඇත. මෙම චෝදනා යටතේ සිංගප්පූරුවේදී කිම් ජොන් උන් අත්අඩංගුවට ගැනීමට කිසිදු පාර්ශ්වයකට හැකියාව නැත. සිංගප්පූරුව, ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නීතිරීතිවලට යටත් නොවෙයි. කිම් ජොන් උන්ට පමණක් නොව, චෝදනා එල්ල වී සම්බාධක පනවා ඇති සෙසු උතුරු කොරියා නිලධාරීන්ට ද සිංගප්පූරුව ආරක්ෂිත තැනකි.

(බී.බී.සී)


RECOMMEND POSTS