ඉරාන ලේ විලේ අබිරහස



අසර්බයිජාන දේශසීමාවට නුදුරින්, ඉරානයේ විලක් මේ වනවිට වැඩි වැජියෙන් සංචාරකයන්ගේ ආකර්ශණයට ලක් වෙමින් පවතී. ‘

උර්මියා’ නමැති මේ විල කලක් නිල් සහ කොළ වර්ණවලින් අලංකාර වුවත් අද වනවිට මෙම විල වසරේ මාස කිහිපයක් ලේ මෙන් රතු පැහැ ගැන්වෙයි. ‘උර්මියා’ විල වැඩි වැඩියෙන් සංචාරක ආකර්ශණයක් වී ඇත්තේ එහෙයිනි. ‘ඉරානයේ ලේ විල’ යනුවෙන් ද හැඳින්වෙන මෙම විල ඉරානය අභ්‍යන්තරයේ පිහිටි මිරිදිය විලකි.

වර්ග සැතපුම් 2,800 ක් පුරා විසිරී පවතින මේ රතු පැහැති විල, අභ්‍යවකාශයටත් ඉතා පැහැදිලිව පෙනෙයි. අතීතයේ නිල් සහ කොළ වර්ණයෙන් අලංකාරව පවතිද්දී, මේ විල යුනෙස්කෝ සංවිධානය විසින් සංරක්ෂිත ස්ථානයක් ලෙස ද නම් කෙරුණි. පැහැදිලි දිය, ලේ වැනි තද රතු පැහැයෙන් දිස්වන්නේ ඇයිදැයි යන්න විද්‍යාඥයන් සහ පරිසරවේදීන් මවිතයට පත් කළ අබිරහසක් විය.

උර්මියා විලේ පැහැය සාමාන්‍ය කොළ පැහැයෙන්, රතු පැහැයට වෙනස් වූ සැටි පැහැදිලිව සටහන් වී ඇත්තේ පෘථිවි කක්ෂයේ (අභ්‍යවකාශයේ) රඳවා ඇති ඇමෙරිකාවේ නාසා ආයතනයට අයත් ‘ඇක්වා’ චන්ද්‍රිකාවෙන් ලබා ගත් ඡායාරූපවලිනි. නාසා විද්‍යාඥයන් මෙම ‘ඇක්වා’ චන්ද්‍රිකාව පෘථිවි කක්ෂයේ රඳවා ඇත්තේ ද පෘථිවිය මතුපිට ජල පෝෂක ස්ථාන ගැන අධ්‍යනය කිරීමටය.

උර්මියා විලේ පැහැය රතු පැහැයට වෙනස් වන්නේ වසරේ මාස කිහිපයකට පමණි. ඒ, අප්‍රේල් සිට ජූලි හෝ අගෝස්තු දක්වාය. පසුගිය අප්‍රේල් 23 වැනිදා සිට ජූලි 18 තෙක් කාලයේ ඇක්වා චන්ද්‍රිකාව මගින් ලබා ගත් ඡායාරූපවලට අනුව, විලේ වර්ණ පෙරැළිය සිදුවන අයුරු පැහැදිලිව පෙනෙයි. මෙම වර්ණ වෙනස සිදුවන්නේ ජල මට්ටම අඩුවෙද්දීය.

ජල මට්ටම අඩු වී යන්නේ අධික වියලි කාලගුණයක් පවතිද්දීය. ඉරානය මැද පෙරදිග කලාපයට අයත් රාජ්‍යයක් නිසා අසාමාන්‍ය ලෙස උෂ්ණත්වය ඉහළ යෑමක් ද සිදුවෙයි. එම උෂ්ණත්ව වෙනස් වීමත් සමඟ ඇල්ගේ වර්ගයක් වැඩෙන්න පටන් ගනී. මෙම ඇල්ගේ වර්ගය ‘ඩුනලයිලා සලීනා’ නමින් හැඳින්වෙයි. ‘උෂ්ණත්වය වැඩි වෙද්දී, ඩුනලයිලා සලීනා වර්ධනය වෙනවා. ඒවා ඉක්මනින් විල පුරා පැතිරෙන්න ගන්නවා. ඒවා තද රතු පැහැයෙන් යුක්තයි. විලේ වර්ණය වෙනස් වෙන්නේ එහෙමයි. වැහි කාලයට විල පිරෙද්දී, ඇල්ගේ ගහණය අඩුවී යනවා.’ යැයි ස්ටුගාත් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මොහොමද් තුරියාන් පැහැදිලි කරයි.

‘ඩුනලයිලා සලීනා’ වැනි ඇල්ගේ විශේෂ වැඩි වැඩියෙන් වර්ධනය වෙන්නේ පාරිසරික හේතුවක් නිසා යැයි විද්‍යාඥයන් සිදු කළ පරීක්ෂණවලින් තහවුරු කර ගෙන තිබේ. ‘ඩුනලයිලා සලීනා’ වැඩි වැඩියෙන් වර්ධනය වන්නේ නම්, එය ගෝලීය උණුසුමේ ප්‍රතිඵලයක් යැයි එම විද්‍යාඥයෝ වැඩි දුරටත් කියා සිටිති. එසේ නම්, ඉරානයේ උර්මියා විලේ පැහැය මෙලෙස වෙනස් වීම, ගෝලීය උණුසුම ඉහළයෑම සම්බන්ධයෙන් මනුෂ්‍ය අපට කරන අනතුරු ඇඟවීමක් විය හැකි යැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පෙන්වා දෙති.

ඉරාන පුවත් සේවා ඇසුරිනි


RECOMMEND POSTS