අර්බුදය ගැන ජගත් ප්‍රජාව කනස්සල්ලෙන්



ඉන්දියාවත් පාකිස්තානයත් අතර හටගත් අර්බුදය සම්බන්ධයෙන් ලෝක ප්‍රජාව සිය කනස්සල්ල පළ කර ඇත. ඉන්දියාව සහ පාකිස්තානය න්‍යෂ්ටික බලවතුන්ය දෙරට අතර අර්බුදයක් නිර්මාණය වුවහොත්, එය කලාපීය පමණක් නොව ගෝලීය සාමයට තර්ජනයක් වනු ඇත.

ඉරානය ඉන්දියාවේත් පාකිස්තානයේත් අතර යහපත් සබඳතා පවත්වන රාජ්‍යයකි. පාකිස්තාන ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා ඉන්දීය ප්‍රහාරක යානාවලට පහර දී බිම හෙලීමේ සිදුවීමත් සමඟ ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදය උත්සන්න වෙද්දී, ඉරාන විදේශ ඇමැති මොහොමද් ජවාද් සරීෆ්, පාකිස්තාන විදේශ ඇමැති ෂා මොහොමද් කුෂේරිට ඇමැතුමක් දුන්නේය.

ඉන්දියාව සහ පාකිස්තානය අතරේ හටගත් මෙම නව අර්බුදය කඩිනමින් විසඳීමට මැදහත්කරුවකු වීමට ඉරානය සූදානම් බව දැන්වීය. ඉරාන විදේශ ඇමැතිවරයා ඉන්දීය විදේශ ඇමැතිවරයා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට නියමිතව සිටියේ යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. ජවාද් සරීෆ් ජාත්‍යන්තරයේ පිළිගැනීමට ලක්වුණු රාජ්‍ය තාන්ත්‍රිකයෙකි.

ජවාද් සරීෆ් පසුගිය සඳුදා ඉරාන විදේශ ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වෙනවා යැයි පවසමින්, සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉරාන ජනාධිපති හසන් රෝව්හානිට යොමු කළේය. රොව්හානි එය ප්‍රතික්ෂේප කළ බව ද වාර්තා විය.

පාකිස්තාන ගුවන් හමුදාව, ඉන්දීය ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානා ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පමණක් නොව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මාකෙල්, කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ කනස්සල්ල පළ කළහ.

ඉන්දියාවත් පාකිස්තානයත් අතර හටගත් අර්බුදය කඩිනමින් සමතයකට පත් කර ගන්නැයි ජර්මනිය දෙරටින් ඉල්ලා සිටියේය. ජර්මන් රජය වෙනුවෙන් මෙම ඉල්ලීම කළේ ජර්මන් විදේශ කටයුතු අමත්‍යාංශ ප්‍රකාශිකා මරීයා ඇඩෙබාර්ය. කලාපීය සාමය සහ ආරක්ෂාව තහවුරු කළ හැක්කේ ඉන්දියාවට සහ පාකිස්තානයට යැයි කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ පැවැසීය.

ඉන්දියාව සහ පාකිස්තානය අතර හටගත් අර්බුදය දුරදිග ගෙන යෑමෙන් වළකින්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පමණක් නොව, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් ද ඉන්දියාවටත් පාකිස්තානයටත් දැනුම් දුන්නේය. පාකිස්තානය ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ට සහ අන්තවාදීන්ට සහාය දක්වන බවත් එය වහා නතර කළ යුතු බවත්, ත්‍රස්තවාදීන් සහ අන්තවාදීන් මැඬලීමට පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ප්‍රමුඛ රජය දැඩි පියවර ගත යුතු බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් යළිත් වරක් අවධාරණය කළේය.

ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ කීවේ, උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවීමට, වියට්නාමයේ හැනොයි අගනුවරට පැමිණි අවස්ථාවේදීය. ඇමෙරිකා ජනාධිපතිවරයා ද සමඟ එරට රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ ද හැනොයි බලා පැමිණ සිටී. ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා ද මාධ්‍ය හමුවේ ඉන්දියාවත් පාකිස්තානයත් අතර හටගත් අර්බුදය සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් කළේය. හටගත් අර්බුදය තවත් දුරදිග යෑමට ඉඩ නොදී මෙතැනින් අවසන් කරන්නැයි රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් ඉල්ලීමක් කළේය.

තුර්කි රජය වෙනුවෙන් එරට විදේශ ඇමැති මෙව්ලුත් කොව්ග්සොග්ලූ මාධ්‍ය හමුවේ අදහස් දක්වා සිටියේ, හටගත් අර්බුදය තවත් දුරදිග යෑමට ඉඩ නොදී සමතයකට පත් කර ගැනීමට ඉන්දියාවත් පාකිස්තානයත් කටයුතු කළ යුතු බවය. බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ ද ඉන්දියාව සහ පාකිස්තානය අතර හටගත් අර්බුදය සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කළාය.

මහා බ්‍රිතාන්‍යය ඉන්දු පාකිස්තාන අර්බුදය සම්බන්ධයෙන් සැමවිටම විමසිල්ලෙන් පසුවන බවත් හටගත් අර්බුදය සාමකාමීව විසඳා ගැනීම කළ යුතු බවත් බ්‍රිතාන්‍ය අගමැතිනිය වැඩි දුරටත් කියා සිටියාය. චීනය ඉන්දියාවට වඩා චීනයේ මිතුරාය. චීන රජය වෙනුවෙන් එරට විදේශ අමත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, සාමය වෙනුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය කැප විය යුතුයි කියාය.

(අල් ජසීරා)


RECOMMEND POSTS