අතමිට සරු නම් අභ්‍යවකාශ නැවතුම්පොළට



නාසා ආයතනය පසුගිය දා මාධ්‍ය හමුවේ කියා සිටියේ, ඉදිරියේ දී, පෘථිවි කක්ෂයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ අභ්‍යවකාශ සංචාරකයන් සඳහා විවර වනු ඇති බවය. එක් අයකුට, එක් වරක්, අභ්‍යවකාශ නැවැතුම්පොළට ගොස් ආපසු ඒමට, ඇමෙරිකන් ඩොලර් මිලියන 50 ක මුදලක් වැය වනු ඇති බව නාසා කියයි.

මේ වනතුරු අභ්‍යවකාශ නැවතුම්පොළ විවර වූයේ පෘථිවියේ අභ්‍යවකාශ ආයතන නියෝජනය කරන ගගනගාමීන්ට පමණි. සෑම මාස 3 කට හෝ 6 කට වරක් ඔවුහු අභ්‍යවාශ නැවතුම්පොළට ගොස් නැවතුම්පොළේ රැඳී සිටිමින්, විවාධාකාරයේ පර්යේෂණවල නියැලෙති. අභ්‍යවකාශ නැවතුම්පොළ, ව්‍යාපාරික අරමුණක් පෙරදැරි කර ගනිමින්, බාහිර පුද්ගලයන්ට එනම් ‘අභ්‍යවකාශ සංචාරකයන්ට’ විවර වන පළමු අවස්ථාව මෙයයි. ‘ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ සංචාරකයන්ට විවෘත වෙනවා’ යැයි ඇමෙරිකාවේ නාසා ආයතනය කළ ප්‍රකාශය කාගේත් පුදුමයට පවා හේතුවක් විය. මෙම කටයුත්තට පෞද්ගලික අංශය සම්බන්ධ වෙයි. දැනටමත් පෞද්ගලික සමාගම් කීපයක් නාසා ආයතනය සමඟ එක් වී සිටී. ඒ, අති විශාල මුදලක් වැය වන අභ්‍යවකාශ කටයුතු නාසා ආයතනයට තනිවම කළ නොහැකි නිසාය.

පෞද්ගලික සංචාරකයන්ට මේ වනතුරු අභ්‍යවකාශ නැවතුම්පොළ තහනම් තැනක් විය. ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ ඉදිකිරීමත්, පෘථිවි කක්ෂයේ එය එකලැස් කිරීමත් සිදුවූයේ ඇමෙරිකාවේ මූලිකත්වයෙනි. 1990 දී අභ්‍යවකාශ නැවතුම්පොළ දියත් කරද්දී ඇමෙරිකන් ජනතාවගේ බදු මුදල් මිලියන 993 ක් ඒ සඳහා යොදවා තිබුණු බව ද පැවැසෙයි. අද වනවිට ලොව ප්‍රධාන අභ්‍යවකාශ ආයතන වන රුසියානු සහ යුරෝපා අභ්‍යවකාශ ආයතන මෙන්ම සෙසු අභ්‍යවකාශ ආයතන ද ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ නඩත්තු කිරීමට සම්බන්ධ වී සිටී.

ඇමෙරිකාවේ මූලිකත්වයෙන් ආරම්භ වුවත්, මේ වනවිට ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ රටවල් රැසක සාමූහික නිර්මාණයක් වී ඇත. 1998 වසරේ සිට 2000 තෙක් කාලයේ, අභ්‍යවකාශ නැවැතුම්පොළ ඉදි කෙරුණේ කොටස් වශයෙනි. 2000 දී අභ්‍යවකාශ නැවැතුම්පොළේ ඉදිකිරීම් සම්පූර්ණ විය. අද එය ගගනගාමීන්ගේ අභ්‍යශවකාශයේ ඇති තාවකාලික නිවහන බවට පත් වී අවසන්ය. නාසා ආයතනය මෙම නැවතුම්පොළ භාවිත කරන්නේ අභ්‍යවකාශයේ ජීවත්වීම සහ අභ්‍යවකාශයේ වැඩ කිරීම කෙසේදැයි යන්න අවබෝධ කර ගැනීමටය. පෘථිවියේ කක්ෂයේ ඇති කෘත්‍රිම චන්ද්‍රිකාවක් අයුරින් මෙම නැවතුම්පොළ ද රඳවා තිබේ. ලොකු නිදන කාමර පහක්, නානකාමර දෙකක්, ශරීර සුවතා මධ්‍යස්ථානයක්, පර්යේෂණාගාර සහ රසායනාගාර රැසක්, පෘථිවිය නැරැඹීමට විශාල වීදුරු තිරයක් ද නැවතුම්පොළේ ඇත. වරකට ගගනගාමීන් 6 දෙනකුට ඉඩකඩ ප්‍රමාණවත්ව ඇත. මෙය රඳවා ඇත්තේ පෘථිවියේ ඉහළට සැතපුම් 250 ක් දුරිනි.

සංචාරකයන් අභ්‍යවකාශ නැවතුම්පොළට රැගෙන යෑමත් ආපසු ගෙන ඒමත් බෝයිං සමාගම සහ එලොන් මුස්ක්ගේ ස්පේස් එක්ස් සමාගම විසින් සිදු කරනු ලැබේ. මේ වනවිටත් අභ්‍යවකාශ නැවතුම්පොළට සංචාරකයන් ගෙන යන්න මොවුන් කැප්සියුල නිර්මාණය කරමින් සිටින බව වාර්තා වේ. නාසා ආයතනය පෙන්වා දෙන අන්දමට වසරකට සංචාරකයන් දෙදෙනකුට පමණක් අභ්‍යවකාශ නැවැතුම්පොළ විවෘත වනු ඇත. අභ්‍යවකාශ සංචාරකයන් වෙනුවෙන් වෙන් කෙරෙනු ඇති කාලය දින කීපයක් පමණි. එක් ගමනක් වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 50 ක මුදලක් වැය වනු ඇති බව ද පැවැසෙයි. ‘ඒක අති සුඛෝපභෝගී හිල්ටන් හෝටලයේ හෝ මැරියට් හෝටලයේ හෝ නවතින්න යනවා වගේ දෙයක් නොවෙයි. අපූරු අත්දැකීමක් වේවි සැකයක් නැහැ’ යැයි නාසා මූල්‍ය කටයුතු පිළිබඳ ප්‍රධානී ජෙෆ් දි විට් පෙන්වා දෙයි.

අභ්‍යවකාශ නැවතුම්පොළේ සංචාරයක් සඳහා අතමිට සරු වුණත්, අතමිටසරුවුණු නිසාම අභ්‍යවකාශයට යන්න ලැබෙන්නේ ද නැත. පළමුවෙන් නාසා ආයතනයේ ගගනගාමීන්ට හිමිවන පුහුණුවීම්වලට සංචාරකයන්ට මුහුණ දීමට සිදුවෙයි. වෛද්‍ය පරීක්ෂණ රැසකට යොමු කිරීම ද සිදුවෙයි. ශුන්‍ය ගුරුත්වයේදී සිරුරට සිදුවන බලපෑම් සොයා බැලෙයි. මේ සඳහා නාසා ආයතනයේ පුහුණු ඒකකයේ ඇති දැවැන්ත ජල ටැංකි තුළ පුහුණුවීම් කිරීමට ද සිදුවෙයි.

ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ ‘ව්‍යාපාරයක්’ බවට පත් කිරීමට නාසා ආයතනය තීරණය කළේ නාසා ආයතනයේ ඉදිරි අභ්‍යවකාශ කටයුතු සඳහා මුදල් රැස් කිරීමටය. 2024 දී යළිත් වරක් ගගනගාමීන් පමණක් නොව ගගනගාමිනියන් ද සඳට යැවීමට නාසා සූදානම් වෙයි. ෂටල වැඩසටහන නිමාවීමෙන් පසු නාසා ආයතනයට ඇමෙරිකන් ගගනගාමීන් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළට යැවීමට සිදුවූයේ රුසියාවේ සහාය ඇතිවය. රුසියානු අභ්‍යවකාශ ආයතනයට අයත් සෝයූස් ගගන කැප්සියුල මේ සඳහා භාවිතයට ගැනෙයි. එය තවමත් සිදුවෙයි. සෝයූස් කැප්සියුලයකින් ගගනගාමීන් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළට යැවීමට නාසා ආයතනය අද ඇමෙරිකන් ඩොලර් මිලියන 75 ක මුදලක් රුසියානු අභ්‍යවකාශ ආයතනයට දෙයි. 2015 දී මෙම මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 82 ක් වූ බව පැවැසෙයි. ස්පේස් එක්ස් ඇමෙරිකන් අභ්‍යවකාශ යානා නිෂ්පාදන සමාගහ සෝයූස් කැප්සියුලය වැනි කැප්සියුලයක් නිර්මාණය කර ඇත. ‘ඩ්‍රැගන් එක්ස්’ යනුවෙන් මෙය හැඳින්වෙයි. මෙම කැප්සියුලයෙන් හෝ බෝයිං සමාගම නිර්මාණය කළ ගගන කැප්සියුලවලින් හෝ උඩු ගුවනට යන්නේ නම් එක් අයකු වෙනුවෙන් වැය වන මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 58 කි.

ගගනගාමීන් අභ්‍යවකාශ නැවතුම්පොළේ රැඳවීම ද අධික වියදමකි. නැවතුම්පොළ ඇතුළත ගගනගාමීන්ට ජීවත් වෙන්න කෘත්‍රිම පරිසරයක් නිර්මාණය කර ඇත. ගගනගාමීන්ගේ දිවි සුරැකීමේ පද්ධති සඳහාත් වැසිකිළි පද්ධතිය සඳහාත් එක් දිනකට එක් ගගනගාමියකුට වැය වන මුදල් ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් 11,250 කි. ආහාර පමණක් නොව, ඔක්සිජන් වායුව සඳහා දිනකට ඇමෙරිකන් ඩොලර් 22,500 ක් වැය වෙයි. ඒ අනුව පෞද්ලික සංචාරකයන්ට අභ්‍යවකාශ නැවැතුම්පොළේ නවාතැන් දීමට ඇමෙරිකන් දිනකට ඇමෙරිකන් ඩොලර් 35,000 ක මුදලක් වැය වනු ඇත.


RECOMMEND POSTS