වෙළෙඳාම වැඩිදියුණු කිරීම සඳහා පියවර ගත යුතුයි



ආරක්ෂාවට ලබාදෙන අවධානය අඩු නොකරමින් කලාපය තුළ වෙළෙඳාම වැඩිදියුණු කිරීම සඳහා දකුණු ආසියානු කලාපයේ රටවල් ස්ථීර පියවර ගත යුතු යැයි විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

සාර්ක් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය, ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය සමඟ එක්ව පසුගිය 10 වැනිදා ටාජ් සමුද්‍රා හෝටලයේ පැවැත්වූ ‘35 වැනි සාර්ක් ප්‍රඥප්ති දිනය’ සැමැරීමේ උත්සවයට එක්වෙමින් විදේශ සබඳතා අමාත්‍යවරයා ඒ බව පැවැසීය.

ගෝලීය ජනගහනයෙන් සියයට 20කට වඩා වැඩි සංඛ්‍යාවක් වෙසෙන දකුණු ආසියානු කලාපයේ අන්තර් වෙළෙඳාම සියයට 6කටත් වඩා අඩු යැයි ද එය අසතුටුදායක තත්ත්වයක් යැයි ද අමාත්‍ය ගුණවර්ධනය මහතා කීය.  සාර්ක් කලාපයට ආසියාන් සංවිධානය අනුගමනය කළ හැකි බව කී අමාත්‍යවරයා ගෝලීය ජනගහනයෙන් සියයට 9කටත් වඩා පිරිසක් වෙසෙන ආසියාන් කලාපයේ අන්තර් වෙළෙඳාම සියයට 22ක් බව ද එහිදි පෙන්වා දුන්නේය.

වෙළෙඳ ව්‍යාප්තිය සඳහා සාර්ක් කලාපයේ පවතින ශක්තිමත් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ සතුට පළ කළ ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාව ඇතුළු කලාපයේ කුඩා ආර්ථිකවලට අනුබල දීම සඳහා වෙළෙඳ සාකච්ඡාවලදී නම්‍යශීලි වන්නැයි ද කලාපයේ අනෙකුත් රටවලින් ඉල්ලා සිටියේය.
පෙර නොවූ විරූ ස්වභාවික විපත් හා අක්‍රමවත් කාලගුණික රටාවලට මුහුණ දී සිටින දකුණු ආසියානු කලාපයට අභියෝගාත්මක කරුණක් වන පරිසරය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව ද අමාත්‍යවරයා මෙහිදි තවදුරටත් පෙන්වා දුන්නේය.

කොළඹ සිටින සාර්ක් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල නියෝජිතයන්, ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.    

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS