ඊජිප්තුව ඛනිජ තෙල් සහනාධාරය කප්පාදු කිරීමට සැරසෙයි



(ඊජිප්තුව - රොයිටර්)

වසර තුනක් ඇතුළත ඛනිජ තෙල් සහනාධාරය ඉවත්කිරිමටත් 2016- 2017 මූල්‍ය වර්ෂය තුළ ඛනිජ තෙල් මිල එහි නියමිත මිලෙන් සියයට 65 දක්වා ඉහළ නැංවීමටත් ඊජිප්තු රජය අපේක්ෂා කරයි.

2011දී සිදුවූ ඊජිප්තු කැරැල්ල නිසා ආයෝජකයන්ගේ විශ්වාසය බිඳ වැටුණු නිසාත් සංචාරකයන්ගේ පැමිණීම ශීඝ්‍රෙයන් පහත වැටුණු නිසාත් ඊජිප්තු ආර්ථිකය දරුණු පසුබෑමකට ලක්විය. එනිසා එරට අයවැයේ වැඩි වියදමක් දරන ඛනිජ තෙල් සහනාධාරය කප්පාදු කර වියදම් අඩු කිරිම කෙරෙහි ඊජිප්තු රජයේ අවධානය යොමුවී ඇත.

මේ නිසා ඩොලර් බිලියන 12ක ණය මුදලක් ගැනිම සඳහා වන තුන්  අවුරුදු වැඩ පිළිවෙළක් සකස් කිරීම සම්බන්ධයෙන් එරට රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග මාණ්ඩලික මට්ටමින් දැනට එකඟත්වයකට පැමිණ ඇත. එයට ජාත්‍යන්තර අරමුදලේ විධායක කමිටුවේ අවසන් අනුමැතිය ලැබිය යුතුව ඇත.

වියදම් අඩුකිරීම සඳහා වන සැලැස්මට සහනාධාර කපා හැරිම, එකතු කළ අගය මත බදු අය කිරීම (වැට්) හඳුන්වා දිම හා වඩාත් නම්‍යශීලී විනිමය අනුපාතිකයක් හඳුන්වා දිම වැනි ක්‍රියා මාර්ග රැසක් අනුගමනය කිරිමට ඊජිප්තු රජය බලාපොරොත්තු වෙයි.

ඛනිජ තෙල් සහනාධාරය නිසා ඊජිප්තු රජයට 2015/16 වර්ෂයේදී පමණක් ඇමෙරිකානු ඩොලර් කෝටි 62ක විදමක් දැරීමට සිදුවූ බව ඊජිප්තු රජයේ නිලධාරියෙක් පැවසීය.


RECOMMEND POSTS