උතුරු කොරියාවේ නපුරු නායකයාගේ සතුරුකම් වැඩි වේ



“ඉතිහාසයේ වැලිතලාවේ කාලය ඇඟිල්ල ලියාගෙන යන්නේය. එසේ ලියමින් ඇඟිල්ල ඉදිරියටම ගමන්ගනී. ඒ ලියූ දේවලින් පේළි බාගයක්වත් මකා ලන්නට ඔබගේ සියලුම ශ්‍රද්ධාවටවත්, ඔබගේ මහා බුද්ධියටවත් ඒ ඇඟිල්ල ආපසු ගෙන්වා ගන්නට බැරිය. ඔබගේ මුළු කඳුළු ධාරාවටවත් ඒ ලියූ දේ වලින්  එක වචනයක්වත් සෝදා දැමිය නොහේ.”
ඕමාර් ඛයියාම් පර්සියානු කවියාගේ 
“රුබයියාට්” කාව්‍යයෙන් 
(ක්‍රිස්තුවර්ෂ 1122)

 

සකල ලෝකයටම අද ඉතා අඳුරු යුගයක් ලබා ඇත්තේය. මානව සාමය, භයානක ලෙස බිඳ වැටේදැයි කියන දුක්බර සැකය, හැම තැනකම පැතිර යන්නේය. 


මිනිස් සංහතිය, මෙසේ මහා භීතියකින් තර්ජිතව සිටින්නේ, නපුරු පුද්ගලයකුගේ, අමානුෂික ක්‍රියාදාමය නිසාය. ඒ මානව විරෝධී තැනැත්තා නම්, උතුරු කොරියාවේ පාලක කිම් ජොං උන්ය.


මෙහි අවඥා සහගත පැත්තක් ඇත්තේය. උතුරු කොරියාව, ප්‍රසිද්ධව තිබෙන්නේ “තාපස රාජධානිය” (හර්මිට් කිංඩම්) වශයෙනි. එහෙත්, සුප්‍රසිද්ධ සත්‍යය නම්, උතුරු කොරියාව, මේවනවිට ලෝකයේ ඉතාම භයානක, මුළු ජනසංහතියටම අනතුරු අඟවන “කෝපාවිෂ්ඨ” දේශයක් බවට පත්ව තිබීමයි. 



කලක පටන්ම, උතුරු කොරියා පාලක කිම් ජොං උන්, ලෝකයාට තර්ජනය කරමින් සිටි. එහෙත්, මේ අර්බුදය ඉතාම උග්‍ර අවස්ථාවකට පත්කරමින් ඔහු අගෝස්තු 29 වනදා, ජපානයට ඉහළින් මිසයිලයක් යැව්වේය. ජපානයේ උතුරු පෙදෙසේ ජනී ජනයා දැඩි ලෙස බියපත් වූයේය. ජපානයේ උතුරු පෙදෙස උඩින් විනාඩි දෙකක් ගමන් ගත් උතුරු කොරියා මිසයිලය, උතුරු ජපානයේ බටහිර කොරියා මිසයිලය, උතුරු ජපානයේ බටහිරි වෙරළට නුදුරුව, ශාන්තිකර සාගරයට වැටුණේය. ජපානය, මින් බොහෝ සේ කම්පාවටත්, බියටත් උදහසටත් පත්වූයේ මක්නිසාදැයි අපේ රටේ බොහෝ දෙනාට ඇතැම්විට ක්ෂණිකව සිතාගත හැකි නොවන්නේවිය හැකිය. මෙයට ප්‍රබල හේතුව නම් 1945 හේ අගෝස්තු මාසයේදී දෙවන ලෝක මහා යුද්ධය අගදී ජපානයට, මිනිස් ඉතිහාසයේ ප්‍රථමවරට න්‍යෂ්ටික බෝම්බ දෙකකින් භයානක ප්‍රහාරයක් එල්ලවීමයි. ඒ ජපන් නගර දෙක හිරෝෂිමා සහ නාගසාකි දෙ නුවරයි.


ඒ අත්දැකීම්, ජපානයේ සාමූහික සන්තානයේ දැඩිලෙස කාවැදී තිබෙන නිසා ජපානය, උතුරු කොරියානු මිසලයේ ගමනින්, අසීමිත ආවේගයකට පත්වූයේය. ජපානය වහාම මිසයිල ප්‍රහාරවලින් ආරක්ෂාවනු පිණිස ඩොලර් බිලියන 47.9 ක් වෙන් කළේය. ජපානයේ සාමකාමී අගමැති ෆීන්සේ අබේ මහතා, ඒ මිසයිල සිද්ධිය නම් කළේ “කිසිකලෙක නොවූ විදියේ, බැරෑරුම්, බරපතළ තර්ජනයක්” හැටියටයි. ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය හා සමග එක්ව, උතුරු කොරියා, මිසයිල අත්හදාබැලීම් හෙලා දුටු, ජපානය, සිය ආරක්ෂාව, තව තවත් තරකළේය.


උතුරුකොරියාවේ ක්‍රියාවට, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය විසින්ද, විරෝධය දක්වන ලදී. රුසියාව හා චීනයත්, කිම් ජොං උන් ගේ ආක්‍රමණශිලීත්වය කෙරේ, සිය අප්‍රසාදය පළකළහ.


එහෙත් සිය ප්‍රතිපත්ති ලිහිල් කරනු වෙනුවට කිම් ජොං උන් විසින් කරන ලද්දේ, මෙතෙක් මිනිස් ඉතිහාසයේ නොතිබුණු ආකාරයක න්‍යෂ්ටික බෝම්බ අත්හදා බැලීමක යෙදීමයි.


සැප්තැම්බර් තුන්වන ඉරිදා, කිම් ජොංඋන්, මුළු ලොවම දෙදරවමින් හයවන වරටත්, න්‍යෂ්ඨික බෝම්බ පිපිරීමක් කළේය. මේ හයවන බෝම්බය ජලකර න්‍යෂ්ටික බෝම්බයකි. ඒ පිපිරීම නිසා, අසල්වැසි රාජ්‍යවලට 6.3 ක දැඩි භූකම්පනයක් දැනුනේය. ඔහු මේ සාම නාශක ’ක්‍රියාව’ සඳහා තෝරාගත් දිනයද, අපගේ තියුණු අවධානයට ලක්විය යුතුය. පිපිරීම සිදුවූයේ සැප්තැම්බර් තුන් වනදායි. ඉතිහාසය මතක තිබෙන අයට, මේ දිනය නිසා බලවත් කම්පනයක් ඇතිවේ. දෙවන ලෝකමහා යුද්ධය ආරම්භවූයේ 1939 යේ සැප්තැම්බර් තුන්වනදායි. මෙසේ, ඒ ජලකර බෝම්බය පුපුරුවා තිබෙන්නේ ”නපුරු” ගණන් බැලීමකිනි. 


ජලකර බෝම්බ යනු කවරේදැයි මෙහිදී සළකා බැලිය යුතුවේ. සාමාන්‍ය න්‍යෂ්ටික බෝම්බ පරමාණු බෝම්බ :්ඔධඵෂක්‍ ඊධඵඊ* නම් වේ. උතුරු කොරියානු බෝම්බය ජලකර බෝම්බයකි. මේවා “තාපන්‍යෂ්ටික” බෝම්බ වශයෙන්ද හැඳින්වේ. කිම් ජොං උන් ගේ අලුත්ම බෝම්බය, 1945 හේ ජපානයට හෙලන ලද න්‍යෂ්ටික බෝම්බවලට වඩා පස්ගුණයකින් අධික පිපිරීම් ශක්තියක් සහිතයි.


උතුරු කොරියානු බෝම්බය, ලෝක සාමයට වඩාත්ම හානිදායිවීමේ හේතුවක් වෙයි. ඒ බෝම්බය, අන්තර් මහා ද්වීපික බලිස්ටික් මිසයිලයකට සවිකළ හැකිය. ඒ කියන්නේ ලෝකයේ ප්‍රධාන තැන්වලට ඇමෙරිකාව ආදී පෙදෙස්වලට මේ බෝම්බය, මිසයිලයක සවිකොට යැවීය හැකිය.


බෝම්බය අත්හදා බැලූ උතුරු කෙරියාවේ කිම් ජොං උන් ආඩම්බරයෙන් කීවේ, ඒ ජලකර බෝම්බයේ සියලුම කොටස් සිය දේශයේම නිපදවන ලද ද්‍රව්‍ය බවයි.


බෝම්බය පිපිරවීමෙන්, සාමකාමී ලෝකය කම්පාවෙද්දී ඒ ගැන අසීමිතලෙස උදහස් වූයේ ඩොනල්ඞ් ට්‍රම්ප් ජනාධිපතිවරයායි. උතුරු කොරියාවට පටහැණි විකල්ප සියල්ලම තමාගේ මේසය මත කිවේයැයි ට්‍රම්ප් ජනාධිපතිවරයා පැවසුවේය. උතුරු කොරියාව හා සමග ගනු-දෙනු කරන හැම රටකටම සම්බාධක පනවන්නට ඔහු යෝජනා කළද ලොව බහුතරයක් ඊට එකඟ නොවූහ. උතුරු කොරියාවට පහර දෙනවාදැයි විමසූවිටි, ඔහු “බලමු” යැයි පිළිතුරු දුන්නේය. උතුරු කොරියාවේ පදිංචි ඇමෙරිකානු ජාතිකයන් සිටින බවද, බොහෝ දෙනා නොදනිති. උතුරු කොරියාවට විරෝධි යුද්ධය කෙළවර වූයේ 1953 නේදීය. එහිදී, දශලක්ෂයක් පමණ උතුරු කොරියානුවෝ මැරීගියහ. ඒ යුද්ධයෙන් මැරුණු ඇමෙරිකානු ජාතිකයන්ගේ ගණන 36,000 කටත් වැඩිය. එදා පටන්ම ඇතැම් ඇමෙරිකානු ජාතිකයෝ, උතුරු කොරියාවේ පදිංචිව සිටියහ. ඔවුන්ගේ සංඛ්‍යාව 209 ක් පමණවිය. ඒ අය වෛද්‍යවරු, විශ්වවිද්‍යාල ආචාර්යවරු විවිධ ආගමික ධර්මදූතයන් ආදීහු වූහ. ඔවුන්ගේ නියමයෙන්, ඔවුන් සියලු දෙනාම, උතුරු කොරියාවෙන් බැහැර වූහ. ඔවුන් නොපමාව උතුරු කොරියාව අතැර එන්නට ට්‍රම්ස් විසින් නියම කරනලද්දේ හේතු දෙකක් නිසා විය හැකිය. එකක් නම්, ඇමෙරිකා විරෝධී උතුරු කොරියානු කණ්ඩායම් විසින් ඔවුන්ට හිංසා - පීඩා පමණුවනු ඇතැයි කියා බිය වූයේය. දෙවැන්න නම්, ඇමෙරිකාව යම්කිසි ආකාරයෙකින්, උතුරු කොරියාවට දැඩි ප්‍රහාරයක් එල්ල කළ හොත්, එහි සිටින, ඇමෙරිකානුවන්ද සුරක්ෂිත නැතැයි සිතීම විය හැකිය.


උතුරු කොරියා නායක කිම් ජොං උන්ගේ චරිතයෙහි පරස්පර විරෝධී අංශද ඇත්තේය. නපුරු ගතිවලින් සපිරි වුවද, ඔහු සිය පවුලට ආදරේය. ඔහුගේ භාර්යාව රි-සෝල්-ජු, සුරූපි, නවීන ඇඳුම පැළඳුම් විලාසිතා කැමති කාන්තාවකි. ක්‍රිස්තියාං ඩියෝ අත්බෑගයක් ඇතැතිව, නවීන මොවාඩෝ අත්ඔරලෝසුවක් පැළඳ සිටින ඡායාරූපයකින් නොබෝදා පෙනී සිටි ඒ කාන්තාවට හා කිම් ජොං උන් නායකයාටත් දරුවෝ තිදෙනෙකි. ඒ කාන්තාවගේ පියා විශ්වවිද්‍යාලාචාර්යවරයෙකි. මව වෛද්‍යවරියකි. කිම් ජොං උන් සිය වයස පවා රහසක්ව තබා ගන්නා නමුදු දැනට ඔහුගේ වයස තිස්හතරකැයි ප්‍රසිද්ධය.


ගෙදර දොර ආදරය තිබුණද, අද ලොව ඉතාම දැඩි අනාදරයට ලක්ව සිටින තැනැත්තා වශයෙනුත් නම් කළ හැක්කේ කිම් ජොං උන්ය.


මේ දිනවල, මහජන චීනයේ අග්නිදිග පෙදෙසෙනි ඉතා ප්‍රබල ඉහළ මට්ටමේ සමුළුවක් පැවැත්වේ. බි්‍රක්ස් (ඊරසජි) නමින් දන්නා මේ සංවිධානයෙහි සාමාජික රාජ්‍ය වන්නේ බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, දකුණු ආප්‍රිකාව හා චීනියයි.
මේ ප්‍රබල සමුළුව සඳහා එක් රැස්වුනු මහා රාජ්‍ය නායකයෝ, කිම් ජොං උන්ගේ ජලකර බෝම්බ පිපිරවීම් තරයේ හෙලා දුටුවහ. මේ බි්‍රක්ස් වාර්ෂික සමුළුවේදී, එහි ඉහළ මට්ටමේ නායකයෝ, උතුරු කොරියානු න්‍යෂ්ටික අත්හදා බැලීමට තමන්ගේ සාමූහික විරෝධය දැඩිව පළකරන නිවේදනයකට අත්සන් තැබූහ.


කිම් ජොං උන් මේ තර්ජන සියල්ලෙන්ම බලාපොරොත්තු වන්නේ, මහජන චීනය හා රුසියාව ලවා, උතුරු කොරියාව හා සමග සාකච්ඡාවට ඒමට, ට්‍රම්ප් පොළඹවාලීම විය හැකියැයි සමහර විචාරකයෝ කියති.


කිසිසේත් විශ්වාසය නොතැබිය හැකි නායකයෙකු සේ බහුතරයක් විසින් සලකනු ලබන කිම් ජෝ උන් සිය විකෘති චින්තනයට වශී වී ජලකර බෝම්බයක් හෙළාලූයේ නම්, ඉන් සිදුවිය හැකි මහා විනාශය ගැනද ලෝකයා, අද සිහියෙන් සිටී.


ස්වාභාවික විපත් රැසක්ද, මේ දිනවල ජාත්‍යන්තර මට්ටමෙන් ජනතාව පෙළන්නට පටන්ගෙන ඇත්තේය.
ඉන් ප්‍රධාන වන්නේ ඈත පෙරදිග චීනයේ පටන්, ඈත බටහිර ඇමරිකා එක්සත් ජනපද රාජධානිය දක්වා රටවල්, විශාල මට්ටමෙන් සිදුවන සුළි සුළං සහිත මහා ජලගැල්මයි.


ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ජනගහනයෙන් දෙවැනි තැන ගන්නා ටෙක්සස් ජනපදයේ ජනගහනය දෙකෝටි හැත්තෑ අට ලක්ෂයකි.


ඒ පෙදෙසට කඩා වැදුණු “හාවි” සුළි සුළඟ ඒ ජනපදය වනසා ලූයේය. එහෙත්, ඒ ආපදාවේදී ජනතාව විසින් දක්වන ලද ශික්ෂණය හා ආත්මත්‍යාගී මෙහෙය නිසා, විශාල ජීවිත සංඛ්‍යාවක් බේරාගත හැකි විය. ජීවිත බේරා ගන්නට ගිය ඇතැම් අයට දිවි අහිමි විය. මිනිස් ජීවිත පමණක් නොව, සතුන්ගේ ජීවිත පවා ගලවා ගනු ලැබූහ. වෙරළාරක්ෂක හුමදා විසින් ජීවිත 11,000ක් බේරා ගැනීමෙන් නඟන ලද වාර්තාව, ඉතිහාස ගත වන්නකි.


ජනාධිපති ට්‍රම්ප් දෙවරක් එහි ගියේය. උප ජනාධිපති මයික් පෙන්ස් මහතා ඒ පෙදෙසට ගොස් නිරීක්ෂණයේ යෙදුණේය.


එහෙත්, ඒ ආපදාවට මූණ පෑ නායකයන් අතුරෙන් මගේ හද සසල කළ වීරයා වන්නේ, මිනිසුන්ගේ දුක්-සැප බලමින්, කළ කිව යුතු දේ පරීක්ෂා කිරීමෙහි යෙදුණු ටෙක්සාස් ආණ්ඩුකාර ග්‍රොග් ඇබට් මහතාය. හදිසි අනතුරකින් ආබාධිතව රෝද පුටුවේ සිටිමින් ඒ ආණ්ඩුකාරවරයා ආපදාපන්නයන් අතර කුඩා මේසයක් තබාගෙන ඔවුන්ගේ දුක් ගැනවිලි තමන්ගේ රාජකාරිය බවට පත්කොට ගත් ආකාරය, ප්‍රශස්තය. 


ඉන්දියා, බංග්ලාදේශ් නේපාල ආදී පෙදෙස්වල විශාල සංඛ්‍යාවකගේ ජීවිත හා සීමිත දේපළ, ජල රකුසා විසින් ගිල ගන්නා විට, ජනතාව ව්‍යසනය වැළඳගත් ආකාරය, සොබා දහමේ අකාරුණික බව ඉදිරියේ මිනිසා අසරණවන ස්වරූපය පිළිබඳ දුක්ඛදායී චිත්‍රයකි. සොබා දහම, එසේ මිනිසා පෙළද්දී කිම් ජොං උන් නොනවත්වාම, මුළු ලොවටම ඝාතන අවි එල්ල කරන්නේය.


ඔහුගේ අදාන්ත ක්‍රියා පිළිබඳව විවරණයක යෙදෙමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකා නියෝජිතවරිය වන නික්කි හේලි මහත්මිය කීවේ 
“කිම් ජොං උන්, පුන පුනාම යුද්ධය ඉල්ලා සිටින්නා සේ යැ”යි කියාය.


මිනිසා විසින් ස්ව වර්ගයාටම කරන හානිය පිළිබඳව අතිශය ඛේදදායී නිදර්ශනයක් මියෙන්මාරයෙන් එළඹියේය. එහි රඛීය ප්‍රාන්තයේ මුස්ලිම් යුදවාදීන් හා ආරක්ෂක හමුදා අතර කෙරෙන සටන නිසා තිස්දහසකටත් අධික සංඛ්‍යාවක්, මියෙන්මාරය හැර, බංග්ලාදේශයට පලාගියහ. 


මෙසේ මහා ජීවිත ව්‍යසනයනට තුඩු දෙමින් මියෙන්මාරයේ ඇවිළෙන අභ්‍යන්තර කල කෝලාහලාදිය නිසා මානව අයිතිවාසිකම් පිළිබඳ දැවැන්ත අර්බුදයක් පැන නඟින්නට ඉඩ ඇතැයි විචාරකයෝ දකිති.


මියෙන් මාරයේ ජාතික නායිකාවක්වන නොබෙල් සාම ත්‍යාග ලාභී ඕං සාසුචි බෞද්ධ නායිකාව, මේ සිද්ධිය දකින්නේ ත්‍රස්තවාදය මියෙන්මාරයට එළඹීමක් හැටියටයි.


තාඩන පීඩනවලට ලක්වන රොහින්ග්‍යා ජන වර්ගය, මියෙන් මාරයෙන් නිකුත්ව සරණ ගතයන් බවට පත්වීමේදීත් ඔවුහු ආපදාවට ලක්වෙති. මේ වර්ගභේද අවුල, නිරාකරණය කිරීමෙහිදී ඕං සා සුචී බෞද්ධ ප්‍රභූවරිය විසින් මුඛ්‍ය සාම සාධක මෙහෙයක් ඉටු කෙරෙන්නට බොහෝ සේ ඉඩ ඇත්තේය.


සොබාවික විපත්, යුද කල කෝලාහාල, අවුල් වියවුල් මැද්දේ, ඉන්දියාව විසින්, නිදහස් ඉන්දියාවේ දෙවන වරට, කාන්තාවක් ආරක්ෂක අමාත්‍ය පදවියට පත් කරනු ලැබ සිටින්නීය. ඒ පත්වීම ලද නිර්මලා සීතාරාමන් මහත්මියට පෙර, ඉන්දිරා ගාන්ධි මහත්මිය ප්‍රථම ආරක්ෂක අමාත්‍යවරිය වශයෙන් ඉන්දීය අමාත්‍ය මණ්ඩලයෙහි සිටියාය. නිර්මාල සීතාරාමන් මහත්මිය ප්‍රවීණ පාලන වේදිනියකි. 


 

ලෝකයේ පැරැණි පොත්පත් ලෝක්සේගේ “කෝ තේචිං”

පැරැණි චීන රාජ්‍යයේ ප්‍රධාන දර්ශනවාදීන් දෙදෙනෙක් වූහ. ඉන් එක් අයෙක් වූයේ කොන්ෆියුසියස්ය. (ක්‍රිස්තු පූර්ව 551-471) ඒ දර්ශනවාදියා, බුදු හිමියන්ගේ සමකාලීනයෙකි. 


ප්‍රධාන පෙළේ දෙවැන්නා, “ලෝක්සේ” නම් වෙයි. ඒ නමේ අර්ථය. “මහළු දර්ශනවාදියා” යන්නයි. ලෝක්සේ ගේ ධර්ම ග්‍රන්ථය වන තෝ තේ චිං”, නම් කෘතිය “මාර්ගය” වශයෙන් හැඳින්විය හැකිය. එහි අන්තර්ගත වන දහම “තෝඩයිසම්” (මඟ හෙළි කිරීම) යනුවෙන් විස්තර කළ හැකිය. 


“ලෝක්සේ” දර්ශන වාදියාගේ චරිතය, විචිත්‍රය. “චව්” පාලකයාගේ අධිරාජ්‍ය සභාවේ ලිපි-ලේඛන ආරක්ෂක පදවිය ඉසිලූ ඒ මහළු දර්ශනවාදියා, ලෝකයාට යහ ගති පැවතුම් කියා දුන්නේය.


ඔහු උපත ලැබුවේ ක්‍රිස්තු පූර්ව 604 දීය. ඒ නිසා ඒ පඬිතුමා බුදු හිමියන්ටත් වඩා මඳක් වැඩිමල්ය. ගොවිපළක උපන් ඔහු අධිරාජ්‍ය සේවයේ යෙදී සිටියදී, ශ්‍රේෂ්ඨ ඉසිවරයෙකු වශයෙන් කීර්තියට පත්වූයේය.


ඒ කාලයේ රටේ පැවැති අවුල් වියවුල් වූ වාතාවරණය නිසා දර්ශනවාදී ලෝත්සේ අතිශයින්ම කළකිරුණේය. ඒ හේතුකොට ගෙන මහළු දර්ශනවාදියා, අධිරාජ්‍ය සභාවේ මෙහෙයෙන් ඉවත්ව යන්නට අධිෂ්ඨාන කළේය.


අධිරාජ්‍ය සභාවේ නිලයෙන් ඉවත්වූ මහළු දර්ශනවාදියාට ඕනෑ කළේ යම්කිසි පෙදෙසකට ගොස් බණ භාවනාවේ යෙදී සන්සුන් දිවි පෙවෙතක් ගත කරන්නටයි.


මහළු දර්ශනවාදියා, ගොනුන් දෙදෙනකු බැඳි රියෙකින් නිකුත්ව බටහිර පෙදෙසට යනු පිණිස දේශ සීමාවට ආයේය.
දේශ සීමාව භාර භටයා මහළු දර්ශනවාදියා දැක විස්මයට පත්වූයේය. “ඔබ මෙපමණ කල් ලෝකයාට උගන්වා රැස් කර ගත්තේ කොපමණ ධනයක්දැ”යි භටයා විමසුවේය. “ඔබ දන්නවා නේ හැමදාම ගුරුවරු දිළිඳු ව, දර්ශනවාදියා කීයේය.” ඉතින් පඬිතුමනි, ඔබ උගෙන ගත්තේ කුමක්ද?”යි භටයා ඇසුවේය. “මා ඉගෙන ගත්තේ නියම බලය කියන්නේ කුමක්දැයි කියා යැයි දර්ශනවාදියා පිළිතුරු දුන්නේය. “අනේ පඬිතුමනි, මටත් ඒ බලය ගැන කියා දෙන්න” මහළු දර්ශනවාදියා, භටයා දෙස බැලුවේය. ඔහුගේ සිරුර දිරාපත්ය. ඇඳුම් වැරහැළිය. ඔහු දැක මහළු දර්ශනවාදියාට මෙසේ සිතුණේය. “මෙවැනි අයටත් බලය ඕනෑනේ.” 


භටයා, ඉඳුම්, හිටුම්, ආහාර පාන, ලියන ද්‍රව්‍ය සැපයූවේය.


දර්ශනවාදියා පොත කළේය. “කෝතේචිං” යන දර්ශනවාදී කෘතිය පඬිතුමා එසේ ලියා තැබූ ගැඹුරු දර්ශනවාදී පොතය.
ඒ බණ පොතේ හරය වූයේ ආත්ම දමනය පිළිබඳව උපදෙස් සැලසීමයි. එහෙත් ඔහුගේ අනුගාමිකයන් වඩාත්ම කැමැති වූයේ මහළු දර්ශනවාදියා විසින් සුරපුර හා විකෘතිමත් ලෝක ගැන කියාදෙන ලද කථාවලටයි. පසුව තේඔයාසම් (මහළු දර්ශනවාදියාගේ උගැන්වීම්) බුදු සමය හා සමග සම්මිශ්‍රණය විය. මේ ධර්මය අදහන අය විසින් පසු කලෙක බුදු සමයේ පැවැති තිස්තුන් දිව්‍යයට ලෝක සහිත සුරපුර පිළිබඳ අදහස දියුණු කොට දිව්‍යලෝක 81ක් සහිතවන පරිදි මහළු දර්ශන වාදියාගේ දහම වෙනස් කරන ලදී. මහළු දර්ශන වාදියාගේ දහම අද්භූත අය කාම ලෝකයේ බහුලව සිටිති. දර්ශනවාදියා පොත ලියා බටහිරට ගියේය. ඉන්පසුව ඔහු ගැන කිසිම තොරතුරක් වාර්තා නොවේ. 


 

රතු ඉන්දියානු ජාතිකයාට මුණ ගැසුණු රෝබෝක්

සිය ජාතික ඇඳුමෙන් සැරැසී සිරසෙහි පිහාටු හිස්වැසුමකුත් පැළඳි රතු ඉන්දියානු ජාතිකයෙක් ගමට යනු පිණිස දුම්රිය ස්ථානයට ආයේය. එතැනට නුදුරුව පිහිටුවා තිබුණු රෝබෝක් කෙනෙකුගෙන් (යාන්ත්‍රික මිනිසෙකුගෙන්) නගර වැසියෝ ප්‍රශ්න අසමින් සිටියහ. රෝබෝක්ගේ පිළිතුරු හරි යැයි මිනිස්සු සිය සතුට පළ කළහ.


රතු ඉන්දියානු ජාතිකයාද යන්ත්‍රය වෙත ගියේය. ඔහු යන්ත්‍රයෙන් මෙසේ විමසුවේය. “කියන්න පුළුවන්ද මා කවුද කියා.”


යන්ත්‍රය පිළිතුරු දුන්නේය: “ඔව්, මට කිවහැකියි. ඔබ උතුරු ඇමෙරිකා රතු ඉන්දියානු ගෝත්‍රිකයෙක්. ඔබ ඇවිත් ඉන්නේ දුම්රියෙන් ගමට යන්න.” පිළිතුර හරිය.


එහෙත්, රෝබෝක් යන්ත්‍රයට විහිළුවක් කරන්නට හිතාගෙන, රතු ඉන්දියානු ජාතිකයා අසල ඇඳුම් සාප්පුවකට ගොස් සිය ස්වදේශික ඇඳුම් වෙනුවට කලිසම්-කෝට් ඇඟලාගෙන ආයේය. “මා කවුද” ය ඔහු යන්ත්‍රයෙන් විමසුවේය. යන්ත්‍රය මෙසේ කීය: 


“ඔබ අර ඉස්සෙල්ලා ආපු රතු ඉන්දියානු ජාතිකයාමයි. ඔබ දැන් වෙන ඇඳුම් කට්ටලයකින් ඉන්නේ. ඒත් ඔබ ගමට යන්නට හිතාගෙන සිටි දුම්රිය, දැන් ටික වේලාවකට පෙර පිටත්ව ගියා.”  රොබෝක් කළ විහිලුව තමා වෙතටම පැමිණි ආකාරය දැක රතු ඉන්දියානු ජාතිකයාගේ හිත රිදුණේය.


 

 

ජපන් අධිරාජ්‍ය කුමරියගේ පොදු පවුලක මනාලයා

අවුරුදු 200ක සම්ප්‍රදාය වෙනස් කරමින්, වර්තමාන ජපන් අධිරාජ්‍යවරයා පදවියෙන් ඉල්ලා අස්වන්නේය. අසූ තුන් හැවිරිදි අකිහිතෝ ජපන් අධිරාජ්‍යයාට එසේ ඉල්ලා අස්වන්නට ඉඩ දෙමින් පනවන ලද නීතිය, බලපාන්නේ, මේ අධිරාජයාට පමණි. එය ස්ථාවර සම්ප්‍රදායයක් බවට පත් නොවේ.


ඒ අතර සම්භාවනීය අධිරාජ්‍ය පවුලේ කුමරියක් පොදු සාමාන්‍ය පවුලක මනාලයෙකු හා සමඟ විවාහ වන්නීය. ජපන් අධිරාජ්‍ය පවුල විසින් මේ ප්‍රවෘත්තිය, සැප්තැම්බර් තුන්වන ඉරිදා නිල වශයෙන් ප්‍රකාශ කරන ලදී.


අධිරාජ්‍ය පවුලේ මනාලිය, මාකෝ කුමරිය නම් වන්නීය. අධිරාජ්‍ය මිනිපිරි-මුනුපුරන් හතර දෙනාගෙන් එක් රාජකීයයෙකු වන මාකෝ කුමරියගේ තීරණය නිසා ඒ කුමරිය ප්‍රේමය හමුවෙහි අධිරාජ්‍ය කුමාරිකාවක වශයෙන් තමන් සතු වරප්‍රසාද අත්හැර දමන්නීය. ඉතිරි මිනිපිරි-මුනුපුරු තිදෙනා මෙසේය: මාකෝ කුමරියගේ නැගණිය වන කාකෝ කුමරිය, ඇයගේ සොහොයුරු හිසාහිතෝ කුමරු සහ කිරුළ හිමි නරුහිතෝ කුමරියගේ දියණිය වන අයිකෝ කුමරියත්ය.


මාකෝ කුමරියගේ පෙම්වතා කෙයි කොමුරෝ නම් වේ. මනාලයා රාජකාරි කරන්නේ, තෝකියෝ නගරයේ නීති කාර්යාලයකය. ඒ දෙදනා අතර ප්‍රේමය හටගත්තේ එකට උගෙන ගන්නා කාලයේදීය. 


ජපානයේ අධිරාජ්‍ය සම්ප්‍රදායට අනුව, අධිරාජ්‍ය කිරුළ හිමිවන්නේ පිරිමින්ට (කුමාරයන්ට) පමණි. ඒ වරප්‍රසාදය, කුමරියකට නොලැබේ. එහෙත් ඒ සම්ප්‍රදාය වෙනස් කරන්නට දැනට කතාබහ පවතී.


අධිරාජ්‍ය කුමරෙක් පොදු පවුලක මනාලියක් විවාහ කොටගත් විට මනාලිය, අධිරාජ්‍ය පවුලට අයත් වන්නීය. එහෙත් අධිරාජ්‍යයීය කුමාරිකාවක් පොදු පවුලක මනාලයෙකු හා විවාහ වූ විට කුමරිය සතු සියලු අධිරාජ්‍ය බලතල වරප්‍රසාද නැතිවේ. ඒ නිසා මාකෝ කුමරිය විවාහයෙන් පසු සාමාන්‍ය කාන්තාවකි. 


RECOMMEND POSTS