විදේශ රැකියා ක්ෂේත්‍රය පිරිහිලා



විදේශ රැකියා ක්ෂේත්‍රය පිරිහීමට ලක්වී ඇත්තේ රැකියා නියෝජිතායන් අතලොස්සක් කරන නීති විරෝධී ක්‍රියාවන් හේතුවෙන් බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවැසුවාය.

මේ ක්ෂේත්‍රයේ රැකියා තිබෙන්නේ ඔබ සියළු දෙනාම දක්වන සහයෝගය හා නීත්‍යානුකූලව ලබාගන්නා රැකියා අවස්ථාවලට ශ්‍රමිකයින් පිටත් කර යැවීමෙන් බව බෙහෝ දෙනා අමතක කර ඇතැයි ද ඇමැතිනිය කීවාය.

අතුකෝරල මහත්මිව මේ අදහස් පළකළේ, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පසුගිය දා පැවති බලපත්‍රලාභී රැකියා නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය, “ඕනම වෙලාවක ඕනම අවස්ථාව සිද්ධ වෙන ප්‍රශ්නයකට උත්තර දෙන්න අද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙළගැහිලා ඉන්නවා. යම් කිසි අඩුපාඩුවක් වෙනවානම් මගේ මැදිහත්වීම කරලා ඒ ගැන විශේෂ අවධානයක් යොදවන්න බලාපොරොත්තු වෙනවා. නමුත් නියෝජිතායතන එකක් දෙකක් කරන වැඩ නිසා මේ ක්ෂේත්‍රය පිරිහීමට ලක්වෙලා තියෙනවා.

හැබැයි ඊශ්‍රායලයට ශ්‍රමිකයින් යවන්න ලැබුණා. ඒ අය එහෙන් දැන් පැනලා යනවා. එහෙන් විශේෂ කණ්ඩායමක් එනවා මේකට ගන්න විශේෂ ක්‍රියාමාර්ගය මොනාද කියලා සාකච්ඡා කරන්න. එක ළමයෙක් මාස 5ක් 6ක් ඉඳලා එනකොට ලක්‍ෂ 10ක් 12ක් අරන් එනවා. ගිය ඔක්තොම්බර් මාසේ පටන් ගනිද්දි තුන්සිය හැත්තෑ ගණනක් ගිහින් තියෙනවා. මේ වෙනකොට 600ක් ඇරලා තියෙනවා. මේ අවුරුද්දේ 1000ට 2000ට අවස්ථාව සැලසිලා තියෙනවා.

දැන් ඉතින් ඒකත් නැතිවෙන්න යන්නේ. මේක තව ටික කාලයක් කරන්න වෙනවා. ඔය රට වෙනුවෙන් කෑ ගහන අය, බුද්ධාගම ආරක්‍ෂා කරන අය, මේ රට බේරගත්ත අය රට ඉස්සරහට යවන්නේ කොහොමද කියලා කල්පනා කරන්නේ නැතුව අහිංසක මිනිස්සු රට පටවලා විතරක් ජීවත් වෙන ක්‍රමයකට මේ රට හදපු නිසයි අපිට තාමත් යම් යම් දේවල් හොද රටවලට හරි හොඳ අවස්ථාවක් එක්ක හරි අපිට කටයුතු කරන්න වෙලා තියෙන්නේ. අපි පුළුවන් තරම් උත්සහ කරනවා අපිට ගැලපෙන අවස්ථාවන් හදාගන්න.” යනුවෙන් සඳහන් කළාය.

විනීතා එම්. ගමගේ

 


RECOMMEND POSTS