වසර 12 ක් හිරේ



බ්‍රිතාන්‍ය තරුණියක බියවද්දා සිව්වතාවක් දූෂණය කර ඇයට වද හිංසා සිදුකිරීම චෝදනා යටතේ වරදකරු වූ ලාංකික සිසුවකුට එරෙහිව වසර 12 ක සිරදඬුවමක් නියම කිරීමට බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් අධිකරණය තීන්දු කර ඇතැයි එරට පළවන මැන්චෙස්ටර් ඊවිනින්ග් නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

එම සිර දඬුවම් අවසන් වූ වහාම චූදිත ලාංකික සිසුවා එරටින් අනතුරුව පිටුවහල් කිරීමටද අධිකරණය තීන්දු කර ඇත. මෙලෙස සිරදඬුවම් නියම වූයේ බ්‍රිතාන්‍යයේ උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා ගොස් සිටි 25 හැවිරිදි ලාංකික සිසුවෙකි.ඔහු සීදූව උදම්මිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බැව්ද පැවසේ.මොහු එංගලන්තයේ මැන්චෙස්ටර් මෙට්‍රොපොලිටන් සරසවියේ අධ්‍යාපනය සඳහා ගොස් සිටි අයෙක් වන අතරම උතුරු ලන්ඩනයේ බ්‍රෙන්ට් ප්‍රදේශයේ නවාතැන් ගෙන සිටී.

මෙම චූදිත ලාංකික සිසුවා විසින් මෙම බි්‍රතාන්‍ය තරුණිය දූෂණය කළා යැයි චෝදනා යටතේ මැන්චෙස්ටර් අධිකරණය හමුවේ ගොනු කළ නඩුව විභාගයට ගෙන අවසන් කරමින් එහි විනිසුරු මාර්ටින් රුඞ්ලන්ඞ්  විසින් මෙම තීන්දුව ප්‍රකාශ්‍යට පත් කළේය.

චූදිත සිසුවා විසින් දූෂණයට ලක් කරන ලද සුදු ජාතික තරුණිය උසාවියේදී හෙළිකර තිබුණ විස්තර අනුව 2016 වසරේ සිට අවස්ථා හතරකදීම ඔහුගෙන් මෙම කරදර සිදුව තිබේ.

මුලින්ම තමාව සාදයකදී හදුනාගත් මෙම තරුණයා අනතුරුව මැන්චෙස්ටර්හි සහ ලිවර්පූල්හි හෝටල් කාමර වලට ගෙනගොස් දූෂණය කරන ලද බවත් එම අවස්ථාවන්හි තමා විරෝධය පළ කළ විට ඔහු තමන් ඉහළ සබදතා ඇති අයෙකු හා පිට පිට ඝාතන 37ක් සිදු කළ අයෙකු ලෙස හඳුන්වමින් බියවැද්දූ බවත් ඇය දන්වා අධිකරණ විභාගයේ පවසා ඇත.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් හෙළිකළ කරුණු අනුව චූදිත සිසුවා අදාළ තරුණිය බ්ලැක්මේල් කිරීමක් සිදු කර මෙම ස්ත්‍රී දූෂණ සිදු කර ඇති බවත් , ඇයගේ පවුලේ පිරිසට චූදිතයා විසින් සිදු කළ තර්ජනාත්මක පණිවුඩද අධිකරණය හමුවේ හෙළිදරව් වී තිබේ.

මෙම ලාංකික සිසුවා ස්ත්‍රී දූෂණය සිදු කිරීමේ වරදට අත්අඩංගුවට පත්වූයේ 2016 වසරේ නොවැම්බර් මාසයේදීය.චූදිතයා විසින් තමන්ට අමානුෂීක ලෙස රූපවාහිනී යන්ත්‍රයකින් පහරදී ,ලේ වැගිරෙන තුවාල සිදුකර ඉන්පසුව ඒවා තමා විසින් පිරිසිදු කර ගන්නා ආකාරය වීඩියෝ කිරීමේ ආසාවකින් පසුවූ බවද, ඔහුගේ වදයෙන් බේරීමට බැරිම තැන තමන් චූදිතයා ගෙන් පලාවිත් පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව මොහු අත්අඩංගුවට පත්විණි.

පසුව මෙම චූදිත ලාංකික සිදුවා මානසික ව්‍යාධි තත්ත්වයක පසුවන අයෙකු බවටත් ,එසේම අසාමාන්‍ය පෞරුෂ ලක්ෂණ සහිත අයෙකු බවටත් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් වූ අතර එම කරුණු සැලකිල්ලට ගනිමින් විනිසුරු මාර්ටින් රුඞ්ලන්ඞ් දන්වා සිටියේ මෙැවනි අය නිදැල්ලේ තැබීමත් සමාජයට හිංසාකාරී වන බවය.එසේම මෙවැනි තත්ත්වයක් තුළ ඔහුට සහනයක් සැලසීම අපහසු බවද දන්වා සිටියේය.

ඒ අනුව තරුණියක බියවද්දා සිව්වතාවක් දූෂණය කර ඇයට වද හිංසා සිදුකිරීම චෝදනා යටතේ වරදකරු කළ එම ලාංකික සිසුවාට එරෙහිව වසර 12 සිරදඬුවමක් ද , එම දඩුවමින් පසුව ඔහුව එරටින් වහාම ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලෙසට තියෝග කෙරිණි.
තවද ඔහුගේ කල් ක්‍රියාව අනුව එම සිර දඬුවම තවත් වසර 5කින් දීර්ඝ කළ හැකි වන පරිදි තීන්දුව ලබා දෙන ලදී.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS