පිටව යන ලාංකිකයන්ට වට්ටම්



ඉදිරියේ දී මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට වට්ටම් ලබා දීමට රජය සුදානම් යැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග සාකච්ඡා කරමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ලෝකයේ විවිධ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වා ගැනීමේදී ද මත්තල ගුවන්තොටුපළ විශේෂ කාර්යභාරයක් ඉටු කරන බවත්,  මේවන විට  ගුවන් ගමන්වාර 198 කින් මගීන් 8200 ක් මත්තල ගුවන්තොටුපළ හරහා දිවයිනට පැමිණ ඇතැයි ද සංචාරක අමාත්‍යවරයා කියා සිටියේය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සංඛ්‍යාලේඛන අනුව වාර්ෂිකව දිවයිනෙන් විදේශ රැකියා සදහා පිටව යන සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවන අතර ඉන් සියයට 20 පමණ මත්තල ගුවන් තොටුපළ ආශ්‍රිත දිස්ත්‍රික්ක වන ගාල්ල, මාතර, හම්බන්තොට, මොණරාගල, බදුල්ල, අම්පාර, රත්නපුර, කල්මුණේ, මඩකලපුව පදිංචිකරුවන් බවද සංචාරක අමාත්‍යවරයා පෙන්වා දේ.

මෙම යෝජනාව සදහා කැබිනට් අනුමැතිය හිමි වු බවත් ඒ අනුව අදාළ සාකච්ඡා පැවැත්වෙන බවත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

කොවිඩ් 19 හේතුවෙන් මේ වන විට ගුවන්තොටුපළ වසා තිබුණ ද නැවත ගුවන්තොටුපළ විවෘත කිරිමත් සමග රැකියා සදහා විදෙස්ගත වීම ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීමට සදහා කාලයක් ගත විය හැකි වුවද එලෙස විදෙස්ගත වන ශ්‍රමිකයන් සංඛ්‍යාව යථා තත්ත්වයට පත්වන විට මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුව ඇති බව ද ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.


RECOMMEND POSTS