පාකිස්තාන නිදහස් දින සැමරුම



පාකිස්තානය යනු සාමයට ආදරය කරන රටක් බවත් පාකිස්තානය සාමය වෙනුවෙන් විශාල කැපකිරීම් කර ඇති බවත් ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ෂහීඞ් අහ්මද් හෂ්මත් මහතා කොළඹදී පැවැසීය.

පාකිස්තානය සෑම විටම විශේෂයෙන්ම දකුණු ආසියානු කලාපයේ සාමය සහ ස්ථාවරත්වය වෙනුවෙන් සහාය දක්වා ඇතැයි ද ඔහු කීවේය. 

පාකිස්තාන නිදහස් දිනය වෙනුවෙන් විශේෂ උත්සවයක් කොළඹ ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාල පරිශ්‍රයේදී ඊයේ (14) පෙරවරුවේ පැවැත්විණි. එහිදි අදහස් දක්වමින් මහ කොමසාරිස්වරයා ඒ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සමඟ තිබෙන සමීප සබඳතාව සිහිපත් කළ මහ කොමසාරිස්වරයා අවශ්‍ය සෑම අවස්ථාවකදීම පාකිස්තානය කොන්දේසි විරහිතව ශ්‍රී ලංකාවට සහයෝගය දෙන බව ද කීවේය.

නිදහස් දිනය සමරමින් ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස්වරයා පාකිස්තාන ධජය එසවීය.

පාකිස්තාන ජනාධිපති අරිෆ් අල්වි සහ එරට අගමැති ඉම්රාන් ඛාන් යන මහත්වරුන්ගේ පණිවුඩ ද මෙහිදි කියවනු ලැබීය.

ශ්‍රී ලංකාවේ පාකිස්තාන ප්‍රජාව ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

මේ අතර මෙවර නිදහස් දිනය කාශ්මීරයට සහයෝගීතාව පළ කිරීම සංකේතවත් කරමින් සැමරීමට පාකිස්තාන රජය තීරණය කර ඇත. මේ අනුව කාශ්මීරයට දේශපාලනිකව, රාජ්‍ය තාන්ත්‍රිකව සහ හැකි සෑම ආකාරයකින්ම සහයෝගය ලබාදෙන බව පාකිස්තාන රජය නිවේදනය කර ඇත. 


RECOMMEND POSTS