වුල්වරීන් ඉටි රූපය චීනයේ



මාවල් චිත්‍රකතා වීරයන් අතර කාගේත් ආදරය දිනා ගත් චරිතයක් ලෙස වුල්වරීන් හැඳින්විය හැකිය. ‘එක්ස් මෙන්’ චිත්‍රපට හරහාත් ‘වුල්වරීන්’ චිත්‍රපට හරහාත් වුල්වරීන්ගේ චරිතය රිදී තිරයට ගෙන ආවේ ඕස්ටේ්‍රලියානු ජාතික හොලිවුඞ් නළු හියු ජැක්මන්ය. 2001 වසරේ සිට මේ දක්වා වුල්වරීන් චරිතයට පණ පෙවූ නළුවා වන්නේ ද හියු ජැක්මන්ය. එය සුවිශේෂත්වයකි.

පසුගිය දා තිරගත වුණු ‘ලෝගන්’ චිත්‍රපටය හරහා 48 හැවිරිදි වියෙහි පසුවන ජැක්මන්, වුල්වරීන් චරිතයට සමුදුන්නේය. ඒ, එම චරිතයට සාධාරණයක් ඉටු කරමින් යැයි සිනමා විචාරකයන් බොහෝ දෙනාගේ අදහස වී තිබේ.

හියු ජැක්මන්, වුල්වරීන් ලෙස පෙනී සිටින ඉටි රූපයක් පසුගිය දා චීනයේ ‘මැඩම් තුසූඞ්ස්’ ඉටි රූ කෞතුකාගාරයේ දී නිරාවරණය විය. ‘මැඩම් තුසූඞ්ස්’ ඉටි රූ කෞතුකාගාර කිහිපයක් ලොව පුරා ඇති අතර ඒවායේ ද හියු ජැක්මන් වුල්වරීන් ලෙස පෙනී සිටින ඉටි රූ දකින්න ලැබේ.

කෙසේ නමුත් චීනයේ ඉටි රූ කෞතුකාගාරයට වුල්වරීන්ගේ ඉටි රුවක් එක්වුණු ප්‍රථම අවස්ථාව මෙයයි. එපමණක් නොව, වුල්වරීන් සමඟ ඡායාරූපවලට පෙනී සිටීමට චීන තරුණ තරුණියන් මහත් උනන්දුවක් දක්වන බව ද වාර්තා වේ.

ඉටි රූපය නිරාවරණය කළ බව දැනගත් අවස්ථාවේදී, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් හියු ජැක්මන් පවසා ඇත්තේ වුල්වරීන් චරිතය අමරණීය චරිතයක් බවට පත් කිරීමට සහාය දුන් සැමට තමන් හද පතුළෙන්ම ස්තුතිය පළ කරන බවය.

(ඬේලිමේල් ඇසුරිනි)

 


RECOMMEND POSTS