රෝහල ඉදිරියේ මාස 3 ක් සිටි බලු සුරතලා



හිමිකරු මියගිය බව නොදැන, ඔහු පැමිණෙන තුරු රෝහල ඉදිරිපිට මාස 3 ක් බලා සිටි බලු සුරතලකු ගැන චීනයේ වූහාන් නුවරින් වාර්තා වෙයි.

මෙම බලු සුරතලාගේ නම 'සියෝ බාඕ' ය. 'සියෝ බාඕ'ගේ හිමිකරු විශ්‍රාමිකයෙකි. 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය පැතිරීම ඇඹුණේ වූහාන් නුවරිනි. ඒ පසුගිය දෙසැම්බරයේය. 'සියෝ බාඕ'ගේ හිමිකරුට ද වයිරසය ආසාදනය විය. නිවසේ සිට ඇත්තේ හිමිකරු සහ 'සියෝ බාඕ' පමණි.

හිමිකරු වූහාන් නුවර ටයිකැං රෝහලට ඇතුළත් කරද්දී 'සියෝ බාඕ' ද ඔහු සමඟ පැමිණ ඇත. හිමිකරු රෝහලට ගෙන ගිය අවස්ථාවේදී 'සියෝ බාඕ' රෝහල ඉදිරිපිට තනිවුණු බවත්, විටින් විට රෝහලේ ඉදිරිපස දොර අසල ගැවසෙමින් ස්වාමියා එනතෙක් බලා සිටීමට පුරුදු වූ බවත් චීන පුවත් සේවා වාර්තා කරටයි.

රෝහලට ඇතුළත් කර දින පහක් යද්දී 'සියෝ බාඕ'ගේ හිමිකරු මියගොස් ඇති අතර, ඒ බව නොදත් 'සියෝ බාඕ' මාස 3 ක් රෝහල ඉදිරිපිට බලා සිට ඇත.

රෝහලේ හෙදියන්ගේත් රෝහලේ අවන්හල පවත්වාගෙන ගිය වූ සියෆන් නමැති කාන්තාවගේත් අනුකම්පාව දිනා ගැනීමට 'සියෝ බාඕ' සමත් වී ඇති අතර, ඔවුන් 'සියෝ බාඕ' ට ආහාර ලබා දී ඇත.

වූහාන් නුවරට පැනැවූ ලොක්ඩවුන් තහංචි ගිහිල් කිරීමෙන් පසු අවන්හල්හිමිකාරිය 'සියෝ බාඕ' ඇගේ අවන්හල වෙත රැගෙන ගොස් දිනපතා උදේ සවස කෑම දී ඇතැයි ද පැවැසෙයි. ඒ, පසුගිය අප්‍රෙල් මාසයේය.

කිහිප දෙනකු 'සියෝ බාඕ' රෝහලෙන් පිටතට ගෙන ගොස් ඇති නමුත් 'සියෝ බාඕ' යළි රෝහලට පැමිණ ඇතැයි ද පැවැසෙයි. අවසානයේ රෝහල ඉදිරියේ රැඳී සිටිය නොහැකි බැවින්, බල්ලන්ට රැකවරණය දෙන ආයතනයකට‍ 'සියෝ බාඕ' බාර දීමට රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කළේය.

හත් හැවිරිදි 'සියෝ බාඕ'ගේ මෙම කතාව මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය වී ඇත. තමන්ට නව හිමිකරුවකු ලැබෙන තුරු 'සියෝ බාඕ' බලා සිටින බව ද වාර්තා වේ.

'සියෝ බාඕ'ගේ කතාව ඇසීමෙන් බොහෝ දෙනකුගේ ඇසට කඳුළු ආ බව ද පැවැසෙයි. බල්ලන් මස් පිණිස ආහාරයට ගන්නා චීනයෙන් මෙවැනි පුවතක් වාර්තා වීම සැබැවින්ම පුදුමසහගත යැයි නිව්යෝක් පෝස්ට් පුවත්පත පවසා තිබේ.

 'සියෝ බාඕ'ගේ කතාව ඇසීමෙන් තමන්ට 'හචිකෝ' බලු සුතරලා සිහිපත් වුණු බව සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැමුන් පවසා ඇත. 'හචිකෝ' යනු ජපානයේ බලු සුරතලෙකි.  'හචිකෝ' සිය ස්වාමියා දුම්රියෙන් පැමිණෙන තුරු වසර 9 ක් බලා සිටියේය.

වූහාන්හිදීය (රොයිටර්/එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS