කොරෝනා මදිවට ‘කවසාකි’



‘කොවිඞ් 19’ වයිරසය ආසාදනය වූ කුඩා දරුවන් අතරේ ‘කවසාකි’ නමැති සිරුරේ ප්‍රතිශක්තිය අඩපණ කිරීමේ රෝගය පැතිර යන බව ඇමෙරිකාවේ සහ යුරෝපා රටවල වෛද්‍යවරු අනතුරු අඟවති.

‘කොවිඞ් 19’ ආසාදනය වී, ‘කවසාකි’ රෝගී තත්ත්වයට ගොදුරු වුණු ඇමෙරිකාවේ නිව්යෝක් නුවර දරුවන් තිදෙනකු, ප්‍රංශයෙන් එක් දරුවකු සහ එක්සත් රාජධානියෙන් එක් දරුවකු මියගොස් ඇති බව මේ වනවිට වාර්තා වේ.

මෙම දරුවන් මියගොස් ඇත්තේ ‘කවසාකි’ රෝගී තත්ත්වය උත්සන්න වීමෙනි. වෛද්‍යවරුන් සැක කරන්නේ ‘කවසාකි’ රෝගී තත්ත්වය ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ අතුරුඵලයක් විය හැකි බවය.

‘කවසාකි’ රෝගය දුර්ලභ එකක් වන නමුත්, ‘කොවිඞ් 19’ වයිරසයත් සමඟ හෝ එහි අතුරුඵලයක් ලෙස හෝ දැන් එය හිස ඔසවන බවක් පෙනී යයි. මරණවලට අමතරව ඇමෙරිකාවේත් සෙසු යුරෝපා රටවලත් ‘කවසාකි’ රෝගය වැලඳී ඇතැයි සැක කෙරෙන ‘කොවිඞ් 19’ ආසාදිත දරුවන් 230 දෙනකු සිටින බව ද වාර්තා වේ.

‘කවසාකි’ යනු රෝගය මුඛය, සම සහ වසා ගැටිති වලට බලපාන රෝගයකි. මෙම රෝගී තත්ත්වය පළමුවෙන් හඳුනා ගැනීම සිදුවූයේ ජපානයෙනි. ‘කවසාකි’ යන නම ඊට යොදා ඇත්තේ එහෙයිනි.  වයස අවුරුදු 5 ට අඩු ළමුන් තුළ මෙම රෝගී තත්ත්වය බහුලව දක්නට ලැබෙන බව පැවැසෙයි.

කවසාකි රෝගයේ රෝග ලක්ෂණ වන්නේ වසා ගැටිති ඉදිමීමෙනි. ඇස් තද රතු වීම, පපුව, ආමාශය සහ ලිංගේන්ද්රිය මත කුඩා බිබිලි මතු වීම, මුඛය රතු පැහැයට හැරීම සහ වියලි ස්වභාවයක් ගැනීම, සෙම් ගෙඩි ඇතිවීම, අත්ල සහ පතුල් ඉදිමීම සහ දම් රතු පැහැයක් ගැනීම රෝග ලක්ෂණ බව පැවැසෙයි.

අද වනවිට ‘කොවිඞ් 19’ වයිරසයට සම්බන්ධයක් ඇති බව පැවැසුත්, මේ රෝගය සදහා නිශ්චිත හේතුව මේ වනතෙක් සොයා ගෙන නොතිබුණි. ‘කවසාකි’ රෝගී තත්ත්වය උත්සන්න වුවහොත් සංකූලතා ඇති වන බවත්, එවිට දරුවන්ගේ හදවතට හානි වීම, රුධිරවාහිනී ඉදිමීම, හදවතේ රිද්මය වෙනස් වීම ආදිය සිදුවන බව බටහිර වෛද්‍යවරු පෙන්වා දෙති.

ජිනීවාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS