ඉන්දියාව දිනකට ආසාදිතයන් 8,000 ඉක්මවයි.



ඉන්දියාවෙන් අද (31) දිනයේ කොරෝනා ආසාදිතයන් 8,000කට වැඩි ප්‍රමාණයක් වාර්තා විය. මෙම සංඛ්‍යාව 8,380කි

අඛණ්ඩව දින 11ක් තිස්සේ ඉන්දියාවෙන් දෛනික වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන හයදහස ඉක්මවූ අතර එරටින් අද පස්වරු 5.30 වනවිට වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 1,82,143ක් දක්වා ඉහළ ගියේය. 

ඉන්දියාවෙන් අවසන් පැය 24ක කාලයේදී කොරෝනා ආසාදිත මරණ 193ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් අද (31) සවස් වනවිට වාර්තා වී තිබූ කොරෝනා ආසාදිත සමස්ත මරණ ගණන 5,164ක් ලෙස දැක්විණි. ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ ගණන කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම ආරම්භ වූ චීනයෙන් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ ගණන ද ඉක්මවා යාමකි.

ඉන්දියාවේ කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලබා රෝහල්වලින් පිට වී ගිය සංඛ්‍යාව 86,984ක් විය. කොරෝනා වයිරසය ආසාදනය වී ඉන්දියාවේ විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන ගණන 89,985කි.

කොරෝනා ආසාදිතයන්ගේ පනස් දහස ඉක්මවූ එකම ප්‍රාන්තය බවට මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය පත්ව ඇති අතර එම ප්‍රාන්තයෙන් අද (31) පස්වරු 5.30 වනවිට වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 65,168 ක් විය. දෙවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ තමිල්නාඩු ප්‍රාන්තයෙනි. තමිල්නාඩු ප්‍රාන්තයෙන් අද පස්වරු වනවිට වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 21,184කි. ඉන්දියාවේ මූල්‍ය කේන්ද්‍රස්ථානය වන මුම්බායි නුවර පිහිටා ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ය.


RECOMMEND POSTS