“ගීතාංජලී” සොදුරු ගී සර



අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා සබැඳි අබුඩාබි ශ්‍රී ලංකා සංස්කෘතික පදනම සංවිධානය කළ “ගීතාංජලී” සොදුරු ගී සර වැඩ සටහන පසුගිය නොවැම්බර් 16 දින සවස අබුඩාබි නැෂනල් තියටර් හිදී ( Abu Dhabi National Theatre ) පැවැත්විණි.

විශාරද, දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය හා ප්‍රවීණ ගායක ප්‍රියා සූරියසේන මහතා ප්‍රථම වරට එකම වේදිකාවක සිට වැලි කතරේ ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් මෙම ප්‍රසංගය ගෙන ආවෝය.

අබුඩාබි ශ්‍රී ලංකා සංස්කෘතික පදනම දැනට වසර හයකට පමණ පෙර අබුඩාබියෙහි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ එකමුතුවෙන් පිහිටුවා ගනු ලැබූ සංවිධානයකි.

එය වර්තමානයේ අබුඩාබි තානාපති කාර්යාලය හා සබැඳිව ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් සිදු කරනු ලබන ජාතික හා ආගමික උත්සව මෙන්ම සංස්කෘතික වැඩ සටහන් සංවිධානය කරනු ලබන එකම සංවිධානය ද වෙයි.

තෛයිපොංගල් උත්සවය, ජාතික නිදහස් දින සැමරුම් වැඩ සටහන, සිංහල හින්දු අළුත් අවුරුදු උත්සවය, වෙසක් සංස්කෘතික මංගල්‍යය, රාමසාන් උත්සවයේ ඉක්තාර් සංග්‍රහය, නත්තල් කැරොල් වැඩ සටහන මෙන්ම අබුඩාබියෙහි වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් තානාපතිතුමාගේ නිර්දේශය මත අත්‍යාවශ්‍ය සුබ සාධක සහ ආපදා සහන සැළසීම ප්‍රධාන වශයෙන් සිදු කරනු ලබයි.

ඉහත සඳහන් වූ ජාතික හා ආගමික උත්සව සහ අත්‍යාවශ්‍ය සුබසාධක කටයුතු සාර්ථකව සංවිධානය කිරීම සදහා අවශ්‍ය ප්‍රතිපාදන සහාය ලබා ගැනීමේ අරමුණින් මෙම සංගීත ප්‍රසංගය පැවැත්වුණු අතර අබුඩාබි ශ්‍රී ලංකා සංස්කෘතික පදනම මඟින් සංවිධානය කරනු ලබන සියලුම වැඩසටහන් ගරු තානාපතිතුමාගේ පූර්ණ අනුග්‍රහය හා අනුමැතිය යටතේ සිදුවන  බව ද පැවැසෙයි.


RECOMMEND POSTS