‘ජී7’ සමුළුව පැරිසියේ



ලොව ප‍්‍රබල ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල එකමුතු හෙවත් ‘ජී7’ සමුළුව ප‍්‍රංශයේ වෙරළාශි‍්‍රතව පිහිටි බියාරිට්ස් නගරයේ දී පැවැත්විණි. ඒ, විශේෂ ආරක්ෂාවක් යටතේය.

තෙදින සමුළුවට සහභාගීවීමට පැමිණි රාජ්‍ය නායකයන් උණුසුම් ලෙස පිළිගැනීමට ප‍්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සහ ජනපති ආර්යා බි‍්‍රජෙට් ත්‍රොග්නෝව් කටයුතු කළේ යැයි ප‍්‍රංශ පවුත් සේවා වාර්තා කරයි.

‘ජී7’ කණ්ඩායමට අයත් රටවල් වන්නේ ප‍්‍රංශය, ඇමෙරිකාව, ඉතාලිය, කැනඩාව, ජර්මනිය, ජපානය සහ මහා බි‍්‍රතාන්‍යයයි.  මෙවර ජී 7 සමුළුවේදී අර්බුද රැුසක් සම්බන්ධයෙන් ලෝක නායකයන්ගේ අවධානය යොමු විය. ඇමසන් වනාන්තරයේ ළැව් ගිනි සහ ගෝලීය උණුසුම ඉහළ යෑම වැළැක්වීමට පියවර ගත යුත්තේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් ප‍්‍රධාන වශයෙන් සාකච්ඡ පැවැත්විණි.

ඇමසන් ළැව් ගිනි ඉහළ යෑම ජාත්‍යන්තර අර්බුදයක් බවත් එය වැළැක්වීමට මුළු ලෝකයම එකමුතු වී කටයුතු කළ යුතු බවත් රාජ්‍ය නායකයන් හමුවේ ප‍්‍රංශ ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ඇමෙරිකාව සහ චීනය අතර පවතින ජාත්‍යන්තරයට ද බලපෑමක් වන වෙළෙඳ යුද්ධය සම්බන්ධයෙන් ද සමුළුවේදී අවධානය යොමු විය. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සමුළුවට සහභාගී වෙයි.

පළුදු වුණු ඇයිහොඳයිකම් අලූත් කර ගැනීමේ අරමුණ ඇතිව ඇමෙරිකා ජනාධිපති ට‍්‍රම්ප් සහ ප‍්‍රංශ ජනාධිපති මැක්රොන් අතර පැය දෙකක කාලයක් පුරා හමුවක් පැවැත්විණි. ඒ, දෙදෙනා එක්ව දිවා භෝජන සංග‍්‍රහයකට ද එක් වෙමිනි.

චීන ජනාධිපති ෂී ජින්පින්ට ද සමුළුවට සහභාගී වෙන්නැයි ප‍්‍රංශ ජනාධිපති මැක්රොන් ඇරැයුම් කර තිබුණු නමුත්, චීන ජනාධිපතිවරයා පැමිණ සිටියේ නැත. උතුරු කොරියාව සම්බන්ධයෙන් හටගෙන ඇති උණුසුම්කාරී තත්ත්වය කෙරෙහි ද රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමු විය.
සමුළුවට සහභාගී වීමට බි‍්‍රතාන්‍ය නව අගමැති බොරිස් ජොන්සන් ද ප‍්‍රංශයට පැමිණ සිටී.

ජොන්සන් පැරිස් නුවරට පැමිණියේ පසුගිය 22 වැනිදාය. මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් ‘බ්‍රෙක්සිට්’ කි‍්‍රයාවලිය සම්බන්ධයෙන්, ප‍්‍රංශ ජනපති මැක්රොන් සහ ජොන්සන් අතර හමුවක් එම අවස්ථාවේදී පැවැත්විණි.

‘ජී7’ සමුළුවේදී ද බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය කෙසේ සිදුවන්නේදැයි සාකච්ඡ පැවැත්වුණු බව ද වාර්තා වේ. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ බි‍්‍රතාන්‍ය අගමැති ජොන්සන් අතරේ හමුවක් ද පැවැත්විණි. ඒ, සුහඳත්වය වර්ධනය කර ගැනීමක් ලෙසය.

පැරිසියේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS