ලොලිපොප් ඇණවුමෙන් වැඩ වරදී



පාසල් දරුවන් වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන දෙකක් වටිනා ලොලිපොප් ඇණවුම් කිරීමට සූදානම් වූ මැඩගස්කර දූපත් රාජ්‍යයේ අධ්‍යාපන ඇමැතිනිය රිජාසෝ අන්ද්‍රියාමන්නාන් ට ධුරය අහිමි වී ඇත.

මැඩගස්කරය යනු අප්‍රිකාවට ඔබ්බෙන්, නැගෙනහිර දෙසින් පිහිටි දූපත් රාජ්‍යයකි. මැඩගස්කරයේ ද ‘කොවිඞ් 19’ වසංගතය පැතිරෙයි. මැඩගස්කරයෙන් මේ වනවිට වාර්තා වී ඇති ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන 1,000 කි. මරණ සංඛ්‍යාව 7 කි.

වයිරසයට කිසිදු ප්‍රතිකර්මයක් නොමැති නමුත්, මැඩගස්කරයේ පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවකට අනුව නිපදවූ අරිෂ්ටයක් එය මර්දනය කිරීමත් සමත් යැයි පැවැසෙයි. මැඩගස්කරයේ මෙම අරිෂ්ටය අසල්වැසි අප්‍රිකා රටවල ද ජනප්‍රිය වී ඇත. අප්‍රිකා රටවල් බොහොමයක් අරිෂ්ටය ඇණවුම් කර ඇතැයි ද වාර්තා වේ.

‘කොවිඞ් ඕර්ගැනික්ස්’ නමින් නම් කළ මෙම අරිෂ්ටය පානය කිරීමෙන් ‘කොවිඞ් 19’ වයිරසය ආසාදනය වීමෙන් වැලැකීමටත්, වයිරසය ආසාදනය වී ඇතිනම් ඉක්මනින් සුවය ලැබීමටත් හැකි බව පැවැසෙයි. ‘කොවිඞ් ඕර්ගැනික්ස්’ අරිෂ්ට නිෂ්පාදනය සිදුවන්නේ රජයේ අනුග්‍රහය යටතේය.

අධ්‍යාපන ඇමැතිනිය රිජාසෝ අන්ද්‍රියාමන්නාන් එරට පාසල් දරුවන් සඳහා මෙම අරිෂ්ටය නිර්දේශ කරමින්, පාසලේ දී ගුරුවරුන් මාර්ගයෙන් එය නොමිලේ දරුවන්ට දීමට ද සැලැසුම් කළාය. අරිෂ්ටයේ ඇත්තේ තිත්ත රසක් බැවින්, එම තිත්ත රස මඟ හැරීමට ලොලිපොප් ඇණවුම් කිරීමට ද අධ්‍යාපන ඇමැතිවරයා කටයුතු යෙදුවේය. ඒ, තිත්ත රස මඟ හැරීමට එක් දරුවකුට ලොලිපොප් තුනක් බැවින් ලබාදීම සඳහාය.

කෙසේ නමුත් ‘කොවිඞ් ඕර්ගැනික්ස්’ අරිෂ්ටය කොරෝනා වයිරසයට එරෙහි ප්‍රත්‍යක්ෂ ඔසුවක් බව නිරන්තරයෙන් පෙන්වා දෙන මැඩගස්කර් ජනාධිපති අන්ද්‍රෙ රජොලිනා ඊට හරස් වී ඇති අතර අවසානයේ දී අන්ද්‍රියාමන්නාන් ට අධ්‍යාපන ඇමැති ධුරය ද අහිමි විය. ‘කොවිඞ් ඕර්ගැනික්ස්’ අරිෂ්ටය වැඩිහිටියන්ට සුදුසු නමුත් එය දරුවන්ට කෙසේ බලපෑමක් කරාවිදැයි නිසි තහවුරු කිරීමක් නොමැති බැවින් තමන් අධ්‍යාපන ඇමැතිනියගේ සැලැස්මට විරෝධය දැක්වූ බව ජනාධිපතිවරයා පසුව මාධ්‍ය හමුවේ පැවැසීය.

ඇන්ටනැනවිරෝහිදීය (රොයිටර්)


RECOMMEND POSTS