රුසියාවේ එන්නත පුටින් දියණියට



විද්‍යාඥයන් මාස දෙකක් තිස්සේ මනුෂ්‍යයන් යොදාගෙන කළ පරීක්ෂණ සාර්ථක වී ඇති බවත් ‘කොවිඩ්-19’ එන්නතට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය හිමි වී ඇති බවත් රුසියාව ප්‍රකාශ කළේය.

විද්‍යා ක්ෂේත්‍රයේ ලබාගත් ජයග්‍රහණය නිවේදනය කරමින් එන්නත තම දියණියකට ලබාදුන් බව ද රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අද පැවැසීය.

එන්නත ගැන විශ්වාසයක් ඇති නිසාත්, එය ආරක්ෂිත බව තහවුරු වී ඇති නිසාත් තමාගේ දියණියකට එය දුන් බව පුටින් කීය. රුසියානු ජනාධිපති පුටින්ට දියණියන් දෙදෙනෙකි. මරීයා (35) සහ කැත්‍රිනා (33) යන ඔවුන් දෙදෙනාගෙන් එන්නත ලබා දුන්නේ කාටදැයි මාධ්‍ය වාර්තා කර නැත.

මේ තත්ත්වයත් සමඟ රුසියාවේ නව කොරෝනා වයිරස ආසාදිත රෝගීන්ට මෙම එන්නත ලබාදීමට පියවර ගන්නා බව වාර්තා වන අතර එසේ වුවද වයිරසයේ ආරක්ෂිත බව සහ සාර්ථකත්වය විමසා බැලීම සඳහා තවදුරටත් සායනික පරීක්ෂණ කරන බව ද රුසියාවෙන් වාර්තා වේ.

ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වයිරස වසංගතය මර්දනය කිරීම සඳහා ලෝක බලවතුන් අතර දැඩි සටනක් නිර්මාණය විය. එන්නතක් නිර්මාණය කිරීම සඳහා රුසියාව ඉතා වේගයෙන් කටයුතු කළ අතර ආකාරය සාර්ථක සහ ඵලදායී එන්නතක් නිෂ්පාදනය කිරීම සඳහා රුසියාව සතුව තිබූ දැඩි අධිෂ්ඨානය හොඳින් පෙන්නුම් කෙරුණි.

මොස්කව් නුවර ගමලෙයා ආයතනය මෙම එන්නත නිෂ්පාදනය කර ඇති අතර රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරුණු රජයේ රැස්වීමකදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මෙම ජයග්‍රහණය නිවේදනය කළේය.

‘‘මම දන්නවා එය ඉතා හොඳින් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම එයින් ශක්තිමත් ප්‍රතිශක්තීකරණයත් නිපදවෙනවා. ඒ වගේම මම නැවත කියනවා. මෙම එන්නත සියලු පරීක්ෂණවලින් සමත්’’ යැයි රුසියානු ජනාධිපතිවරයා කීය.

ඉතා ඉක්මනින් එන්නත මහ පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමට හැකිවනු ඇතැයි බලාපාරොත්තු වන බව ද රුසියානු ජනාධිපතිවරයා කීවේය.

එන්නතට රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය හිමි වී තිබෙන අතර පරීක්ෂණවල තුන්වැනි අදියර ලෙස සැලකෙන දහස් ගණනක් සම්බන්ධ කරගෙන කෙරෙන පරීක්ෂණ ඉදිරියේදී ආරම්භ වීමට නියමිතය.

ගෝලීය වසංගතයක් වන ‘කොවිඩ්-19’ වයිරසය පාලනය කිරීම සඳහා මේ වනවිට ලොවපුරා එන්නත් 100කට වැඩි සංඛ්‍යාවක් සංවර්ධනය කෙරෙමින් තිබෙන අතර ඉන් හතරක් මේ වනවිට මනුෂ්‍යයන් යොදාගෙන කෙරෙන තෙවැනි අදියරේ සායනික පරීක්ෂණවලට පැමිණ ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

රොයිටර්


RECOMMEND POSTS