මැතිවරණයෙන් හමුදා පාලකයන් ඉදිරියට



තායිලන්ත මහ මැතිවරණය 24 පැවැත්වුණු අතර, වත්මන් අගමැති ජනරාල් ප්‍රයාත් චාන් ඕ චා නියෝජනය කළ, තායිලන්ත හමුදාවට පක්ෂපාතී කොන්සවර්ටිව් ‘පලාන්ග් ප්‍රචාරාත්’ (ජනතා රාජ්‍ය බලය) පක්ෂය ඉදිරියෙන් සිටින බව වාර්තා වේ.

2014 වසරේ හමුදා කුමන්ත්‍රණයකින් තායිලන්තයේ බලය අල්ලා ගනිමින් අගමැති ධුරය හොබවමින් සිටින ජනරාල් ප්‍රයාත් චාන් ඕ චා දිගටම එම ධුරයේ කටයුතු කරනු ඇත.

ස්වාධීන පක්ෂයක් වන ‘පලාන්ග් ප්‍රචාරාත්’ පිහිටුවනු ලැබුවේ පසුගිය 2018 වසරේදීය. ඒ, හිටපු කැබිනට් ඇමැතිවරුන් කිහිප දෙනකුගේ නායකත්වයෙනි. මැතිවරණයට දින නියම වෙද්දී, පක්ෂ නායකයන් කියා සිටියේ, අභිනවයෙන් පිහිටුවාගත් තම පක්ෂයේ අගමැති ධුර අපේක්ෂකයා වනු ඇත්තේ එම ධුරයේ කටයුතු කරන ජනරාල් ප්‍රයාත් චාන් ඕ චා බවය.

‘පලාන්ග් ප්‍රචාරාත්’ පක්ෂය ඉදිරියෙන් සිටින බව තායිලන්ත මාධ්‍ය වාර්තා කරන්න වූයේ සියයට 90 ක් ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙද්දීය. මිලියන 7.6 කට වැඩි පිරිසක් ‘පලාන්ග් ප්‍රචාරාත්’ පක්ෂයට ඡන්දය පළ කර ඇති බව පැවැසෙයි.

‘පලාන්ග් ප්‍රචාරාත්’ පක්ෂයට අභියෝගයන් වූ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වූයේ ‘පූ තායි’ පක්ෂයයි. ‘පූ තායි’ පක්ෂය හිටපු තායිලන්ත අගමැතිවරයකු වන තක්සින් ෂිනවාත්‍රාට පක්ෂ, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන බලවේගයකි.

අගමැති ධුරයේ කටයුතු කරමින් සිටිද්දී, දූෂණ චෝදනාවලට ලක්වුණු තක්සින් ෂිනවාත්‍රාට බලය අහිමිවූයේ 2006 වසරේ පැවැති හමුදා කුමන්ත්‍රණයෙනි. ජනරාල් ප්‍රයාත් චාන් ඕ චා හමුදා කුමන්ත්‍රණයකින් බලයට පත්වූයේ 2014 දීය. ඒ වනවිට බලයේ සිටියේ තක්සින් ෂිනවාත්‍රාගේ නැගණිය යිංග්ලක් ෂිනවාත්‍රාය. තක්සින් මෙන්ම යිංග්ලක් ද තායිලන්තය හැර ගොස් විදේසවල ජීවත් වෙති.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 500ක් වෙනුවෙන් මහ මැතිවරණය පැවැත්විණි. බහුතර බලය සඳහා ආසන 251 ක් දිනා ගත යුතුය. තායිලන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එරට සෙනෙට් මණ්ඩලයේ ආසන 250 සඳහා නියෝජිතයන් පත් කිරීම සිදුවන්නේ හමුදාවේ මැදිහත්වීමෙනි.

බැංකොක්හිදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS