බහුතරය ලැබුණත් සන්ධාන රජයක්



මහ මැතිවරණයෙන් බහුතර බලයක් ද සමඟ ඓතිහාසික ජයක් හිමිකරගත්, සන්ධාන රජයක් පිහිටුවීම කෙරෙහි තම අවධානය යොමු වී ඇතැයි නවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න් පවසයි.

නවසීලන්ත පාර්ලිමේන්තුව ආසන 120 කින් සමන්විත වන අතර, ජැසෙන්ඩාගේ නායකත්වයෙන් යුත් කම්කරු පක්ෂය ආසන 64 ක් දිනා ගත්තේය. ප්‍රතිශතයක් ලෙස එය සියයට 49.1 කි.

නවසීලන්තයේ ඡන්ද ක්‍රමය හඳුන්වාදීම සිදුවූයේ 1996 වසරේදීය. නවසීලන්තයේ මහ මැතිවරණයක් පැවැත්වෙන්නේ වසර 3 කට වරක්ය. නව මැතිවරණ ක්‍රමය හඳුන්වාදීමෙන් පසු, මීට පෙර එරට කිසිදු දේශපාලන පක්ෂයක් මහ මැතිවරණයකින් බහුතර බලයක් සහිතව ජයක් ලබා නැත.

ජැසෙන්ඩා පළමු වරට නවසීලන්තයේ අගමැති ධුරයට පත් වූයේ 2017 වසරේ පැවැති මහ මැතිවරණයෙනි. ඒ, කම්කරු පක්ෂය, නවසීලන්ත ෆර්ස්ට් පක්ෂය සහ හරිත පක්ෂය සමඟ සන්ධානගත වෙමිනි. අගමැතිනී ජැසෙන්ඩා උත්සහ ගන්නේ බහුතර බලය ලැබුණත්, නිව්සීලන්ඩ් ෆර්ස්ට් පක්ෂය සහ හරිත පක්ෂය සමඟ පවතින සන්ධානය දිගටම පවත්වාගෙන යෑමටය.

ෆර්ස්ට් පක්ෂ සහ හරිත පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා පවත්වා, තීරණයක් ගෙන, ඉදිරි සති තුනක කාලය ඇතුළත නව රජයක් පිහිටුවීමට තමන් අපේක්ෂා කරන බව අගමැතිය අද (19) මාධ්‍ය හමුවේ කියා සිටියාය. නවසීලන්ත ෆර්ස්ට් පක්ෂයට නායකත්වය දෙන්නේ වින්ස්ටන් පීටර්ස්ය. හරිත පක්ෂයට සම නායකයන් ලෙස නායකයන් දෙදෙනකි. ජේම්ස් ෂෝ සහ මරාමා ඩේවිඩ්සන් ඔවුන් දෙදෙනාය.

නවසීලන්තයේ ප්‍රධාන විපක්ෂය ලෙස සැලකෙන්නේ, නවසීලන්ත ජාතික පක්ෂයයි. ජූඩිත් කොලින්ස් එහි නායිකාව ලෙස දිගටම කටයුතු කරනු ඇතැයි පැවැසෙයි. ජූඩිත් කොලින්ස්, ජාතික පක්ෂ නායිකාව ලෙස පත් කර ගැණුනේ මැතිවරණයට ඔන්න මෙන්න කියා තිබියදීය. මෙවර මැතිවරණයෙන් ජාතික පක්ෂයට දිනා ගැනීමට හැකි වූයේ ආසන 35 කි. හරිත පක්ෂය ආසන 10 ක් ද නිව්සීලන්ඩ් ෆර්ස්ට් පක්ෂය ආසන 1 ක් දිනාගෙන තිබේ.

ජැසෙන්ඩා එර්ඩන්, නවසීලන්තයේ තෙවැනි කාන්තා අගමැතිනිය ද වන්නීය. 2017 වසරේ පැවැති මහ මැතිවරණයනේ සන්ධාන රජයක් පිහිටුවා ජැසෙන්ඩා එර්ඩන්, අගමැති ධුරයට පත් වූයේ එම ධුරයට පත් වුණු ළාබාලතම තැනැත්තිය වෙමිනි. එවිට ඇගේ වයස අවුරුදු 37 ක් විය. එසේ බලයට පත් වීමෙන් පසු නවසීලන්ත ආර්ථිකය ශක්තිමත් කිරීමට ජැසෙන්ඩා අවශ්‍ය පියවර ගත්තාය. කොවිඩ් 19 කොරෝනා වයිරස වසංගතය හමුවේ නවසීලන්තය මුහුණ දුන් ආර්ථික අභියෝග ජය ගැනීමට පවා ඇය කටයුතු කළාය. හටගත් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා තමන්ද ආදර්ශමත් ලෙස කැපකිරීම් කරමින් සෙසු දේශපාලකයන් ද, ජනතාවද ඒ වෙනුවෙන් පොළඹවා ගත් ආකාරය සෙසු විදෙස් නායකයන්ගේ පවා පැසැසුමට ලක් විය. මේ කරුණු ජැසෙන්ඩාගේ විශිෂ්ට ජයග්‍රහණයට මඟ සකස් කළ බව දේශපාලන විශ්ලේෂකයෝ වැඩිදුරටත් පැහැදිලි කරති.

නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩන් ලොව සාර්ථකම රාජ්‍ය නායිකාවක ලෙස ද සැලකෙයි. නවසීලන්තයේ කොරෝනා ව්‍යාප්තිය මර්දනයට ඇය සෞඛ්‍ය අංශය සමඟ එක් වී ගෙන ගිය වැඩපිළිවෙළ නවසීලන්ත වැසියන්ගේ පමණක් නොව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා පැසැසුමට ලක් වී ඇත.

වෙලින්ටන්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS