ධවල මන්දිරය අසල වෙඩි තැබීමක්



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ධවල මන්දිරයේ මාධ්‍ය හමුවක් පවත්වමින් සිටියදී, ධවල මන්දිර භූමියේ වෙඩි තැබීමක් සිදුවිය. ඒ, ගිනි අවියකින් සන්නද්ධ පුද්ගලයකු ධවල මන්දිර භූමියට ඇතුළු වීමට උත්සහ ගැනීම නිසාය.

වෙඩි තබමින් එම පුද්ගලයා යටත් කර ගත්තේ ඇමෙරිකන් ජනාධිපති ආරක්ෂක අංශය හෙවත් සීක්‍රට් සර්විස් නිලධාරීන් මැදිහත් වෙමිනි. තුවාල ලැබූ එම පුද්ගලයා පොලිසියට බාර දුන් පසු ඔහු රෝහල් ගත කෙරුණි.

එම පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් ප්‍රසිද්ධියට පත් කර නැත. එම පුද්ගලයා 51 හැවිරිදි අයකු බව පැවැසෙයි. ඒ සම්බන්ධයෙන් ජනපති ආරක්ෂක අංශයත්, පොලිසියත් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පැවැසෙයි.

ආරක්ෂක අංශ නිලධාරීන්, එම පුද්ගලයාට යටත් වෙන්නැයි පවසමින්, ඔහු ඊට කන් නොදුන් බැවින් වෙඩි තබා තුවාල කළ බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ. ආරක්ෂක අංශ වෙඩි තබා ඇත්තේ එම පුද්ගලයාගේ උරහිසටය. එම වෙඩි ප්‍රහාරය බරපතල නොවන බව ද පැවැසෙයි.

වෙඩි තැබීම සිදුවෙද්දී, මාධ්‍යවේදීන් ඉදිරියේ කතා කරමින් සිටි, ජනපති ට්‍රම්ප් වහා එම ස්ථානයෙන් ඉවත් කර ආරක්ෂිත බංකරයට රැගෙන යෑම සිදුවිය. වෙඩි තැබීමේ සිදුවීමක් ගැන වාර්තා වුවත් තමන් ඒ ගැන කිසිවක් නොදන්නා බව එම අවස්ථාවේදී ට්විටර් පණිඩුයකින් ට්‍රම්ප් පවසා තිබුණි.

‘ආරක්ෂක අංශ වෙඩි තබා යටත් කර ගත්තා යැයි කියන තැනැත්තා මට අනතුරක් කරන්න ආවා නොවන්න පුළුවනි. ඒත් ඔහු ගිනි අවියක් අතැතිව ධවල මන්දිර භූමියට පිවිසෙන්න උත්සහ ගත් බව පැවැසෙනවා’ යැයි ඇමෙරිකන් ජනපති ට්‍රම්ප්ගේ ට්විටර් පණිවුඩයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS