ඉතාලි අගමැති අස්වෙයි



කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට අපොහොසත් වී ජනතා අප්‍රසාදයට පත් වී සිටින ළ ඉතාලි අග්‍රාමාත්‍ය ගුසෙප්පේ කොන්තේ ඉල්ලා අස්විය.

අගමැති කොන්තේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති සර්ජියෝ මැටරෙල්ලාට බාර දුන්නේ, කැබිනට් මණ්ඩලය හමුවී සාකච්ඡා කිරීමෙන් පසුවය. 2018 වසරේදී අග්‍රාමාත්‍ය ධුරයට පත්වී, සන්ධාන රජයක් පිහිටුවීමට කොන්තේ සමත් වූයේ රටේ ආර්ථිකය පණ ගැන්වීමේ ප්‍රධාන අරමුණ ඇතිවය.

‘කොවිඩ් 19’ වසංගතය චීනයෙන් විදේශවලට පැතිරෙද්දී, ඇමෙරිකාවට පෙර, ‘කොවිඩ් 19’ වයිරසයේ කේන්ද්‍රස්ථානය වූයේ ඉතාලියයි. වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට කොන්තේගේ රජය අපොහොසත් වුණු අතර ඉතාලි ආර්ථිකය ඉතා වේගයෙන් අඩපණ විය. මේ වනවිට ඉතාලියේ ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 2,475,372 කි. මරණ වාර්තා වන්නේ 85,881 ක් ලෙසය.
 

ඉතාලියේ රෝහල් පිරී සෞඛ්‍ය පද්ධතිය අඩපණ වෙද්දී සහ වයිරසයට බිලිවී මළසිරුරු ගොඩගැසෙද්දී අග්‍රාමාත්‍ය කොන්තේ ප්‍රමුඛ රජයට චෝදනා එල්ල විය. එල්ල වුණු එම චෝදනා මුල්කොට ගනිමින් අධිකරණ නියෝගයකට අනුව, විමර්ශනයක් පවා පැවැත්විණි. ඒ, ඉතාලියේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන මැටියෝ රෙන්සිගේ මධ්‍යස්ථමතධාරී පක්ෂයේ මෙහෙයවීමෙනි. වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට අග්‍රාමාත්‍ය කොන්තේ ප්‍රමුඛ රජය අපොහොසත් වූ බවට එල්ල වුණු චෝදනා සම්බන්ධයෙන් සෙනට් මණ්ඩලයේ බහුතරය ද කොන්තේට අහිමි විය.

නව රජයක් පිහිටුවීමට ජනාධිපතිවරයාට අවස්ථාව ලබා දෙමින්, කොන්තේ ධුරයෙන් ඉවත් වීමට තීරණය කළේ ඒ අනුවය. කොන්තේ නීතීඥවරයකු මෙන්ම විශ්ව විද්‍යාල මහාචාර්යවරයකු ද වෙයි.

රෝමයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS