හමුදාව යොදවන්න පසුබට නෑ



ජෝජ් ‍ෆ්ලොයිඩ්ගේ මරණය සම්බන්ධයෙන් මේ වනවිට ඇමෙරිකාව පුරා ළැව් ගින්නක් සේ විරෝධතා පැතිරෙයි.

රටේ හටගෙන ඇති සිවිල් නොසන්සුන්තා මර්දනයට හමුදාව යෙදවීමට පසුබට නොවන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  මාධ්‍ය හමුවේ කියා සිටියේය.

ජනපද මට්ටමින් සහ නගර මට්ටමින් හටගෙන ඇති විරෝධතා සහ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කර ගැනීමට අදාල බලධාරීන් අපොහොසත් වන්නේ නම්, විරෝධතාකරුවන් විසුරුවා හැරීමටත්, දේපොල ආරක්ෂා කිරීමටත් හමුදාව යෙදවීමට සිදුවනු ඇති බවය.

මේ වනවිටත්, ඇමෙරිකාවේ ජනපද හයක ආණ්ඩුකාරවරුන් ප්‍රචණ්ඩකාරී විරෝධතා පාලනයට 'නැෂනල් ගාඩ්' හමුදා සේනාංක කැ ඳවා ඇත. කෙන්ටකි ජනපදයේ ලුවිස්විල් නුවර විරෝධතාකරුවන් සහ පොලිස් නිලධාරීන් අතර පැවැති දරුණු ගැටුම් නැවැත්වීමට හමුදා සොල්දාදුවන් කළ වෙඩි තැබීමකදී එක් විරෝධතාකරුවෙක් බරපතල ලෙස තුවාල ලැබූ බව ද වාර්තා වේ.

ඉකුත් 25 වැනිදා මිනසෝටා ජනපදයේ මිනියැපොලිස් නුවර ජෝජ් ෆ්ලොයිඩ් මියගියේ පොලිස් අත්අඩංගුවේ පසුවෙද්දීය.

එම සිදුවීමට මිනියැපොලිස් පොලිස් නිලධාරීන් සිවුදෙනකු සම්බන්ධය. සිද්ධිය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වෙද්දී මිනියැපොලිස් බලධාරීන් පොලිස් නිලධාරීන් සිවුදෙනා වහා සේවයෙන් නෙරපා දැම්මේය.

ෆ්ලොයිඩ්ගේ ගෙල දණහිසින් තද කරගෙන සිටි පොලිස් නිලධාරී ඩෙරික් චෝවින්ට පමණක් මිනීමැරුම් චෝදනා එල්ල වී ඇත. ඩෙරික් චෝවින් ලබන සතියේ අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.

අනෙක් නිලධාරීන් තිදෙනා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වී නැත. ඔවුන් වහා අත්අඩංගුවට ගන්නැයි නීතිපති කීත් එලිසන්ට විරෝධතාකරුවන්ගෙන් බලපෑම් එල්ල වී ඇත.

විරෝධතා උත්සන්න වූයේ ෆ්ලොයිඩ් වෙනුවෙන් සාධාරණයක් ඉල්ලමින් සහ කළු ජාතිකයන්ගේ ජීවත් වීමට ඇති අයිතිය වෙනුවෙනි. විරෝධතා සඳහා කළු ජාතිකයන් පමණක් නොව, සුදු ජාතිකයන් සහ ඇමෙරිකන් ආසියානුවන් ද එක් වී සිටින බව පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS