අපලේඛන ගතවූවන්ට ගල්ෆ් රටවල් තහනම් වේ



ගල්ෆ් රටක හෝ වෙනත් රටක අපලේඛනගතවූ (Black list) විදේශීය ශ්‍රමිකයින්ට ගල්ෆ් කළාපයේ රැකියා සදහා යළි පැමිණීම තහනම් කිරීමට සූදානම් වෙතැයි විදෙස් ආරංචි මාර්ග වාර්තා කරයි.

ඉදිරි කාලයේදී ගල්ෆ් කලාපයට අයත් සියළුම රටවල් තුළ මෙම ක්‍රියාමාර්ගය දැඩිව ක්‍රියාත්මක කිරීම සදහා ගල්ෆ් රටවල බලධාරීන් ඒකමතිකව තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් කරුණු වැඩිදුරටත් සාකච්ඡා කිරීම සදහා ලබන ඔක්තෝම්බර් මාසයේදී ගල්ෆ් සහයෝගිතා කවුන්සලයේ රාජ්‍යන්හි කම්කරු අමාත්‍යවරු රැස්වෙන අතර සියලුම අපලේඛනගත වූ විදේශික ශ්‍රමිකයිගේ තොරතුරු දත්ත වශයෙන් සකස් කර ගල්ෆ් රටවල් තුළ බෙදා හැරීම මඟින් ඔවුන් යළිත් එම රටවලට ඇතුළුවීම වැළැක්වීම ප්‍රධාන අරමුණයි.

මෙසේ අපලේඛනගතවූ පිරිස අතරට සියලුම ගල්ෆ් රටවල සිවිල් සහ අපරාධ නීති කඩකළ හෝ අධිකරණය හමුවේ වරදකරුවන් වූ හෝ අධිකරණ නියෝග මඟින් පිටුවහල් කළ සියළුම විදේශික ශ්‍රමිකයින් ඇතුළත්ය.

මෙලෙස නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධව අපලේඛනගතවී පිටුවහල් කරනු ලැබූ බොහෝ විදේශික ශ්‍රමිකයින් ව්‍යාජ ලිපි ලේඛන සකස්කර නැවත ගල්ෆ් රටවල රැකියා සදහා පැමිණීමට උත්සාහ කළද නීතියේ දැඩි භාවයත් ඔවුන්ගේ ඇඟිලි සලකුණු මඟින් ලබාගත් තොරතුරුවලින් ඔවුන් නැවත නීතියේ රැහැනට හසුවෙන බව අවධාරණය කරයි.

 බහරේන්හි පසුගිය වසර හතර තුල 900කට වැඩි ශ්‍රමිකයන් පිරිසක් මෙසේ නැවත නීතියේ රැහනට හසුවී තිබේ. එමෙන්ම බහරේන්හි ඕනෑම අවස්ථාවක විදේශීය ශ්‍රමිකයින් පිටුවහල් කිරීමේ සාමාන්‍යය 30ක් පමණ වන බවද විදෙස් ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දේ.

 

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS