‘ෆයිසර්’ එන්නත ඕස්ටේ‍්‍රලියානුවන්ට



ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සමාගම සහ ජර්මනියේ ‘බයෝඇන්ටෙක්’ සමාගම නිපදවා ඇති සියයට 95 ක් සාර්ථක යැයි පැවැසෙන ‘කෝවිඩ් 19’ ප‍්‍රතිශක්තිකරණ එන්නත මිලදී ගැනීමට තීරණය කළ බවත්, ලබන පෙබරවාරියේ සිට  ඕස්ටේ‍්‍රලියානුවන්ට එන්නත ලබා දෙන බවත්,  ඕස්ටේ‍්‍රලියා අග‍්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් කියයි.

ඕස්ටේ‍්‍රලියා රජය ‘ෆයිසර්’ එන්නත් මිලදී ගැනීම සිදු කරන්නේ එරට ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය එන්නතට හිමිවීමෙනි. එන්නත  ඕස්ටේ‍්‍රලියානුවන්ට ලබා දෙන්නැයි අනුමැතිය ලබා දී ඇත්තේ, ඉහවහා යන ‘කෝවිඩ් 19’ වසංගතය හමුවේ හදිසි තත්ත්වයක් සේ සලකා භාවිත කරන ලෙසය.

‘සෙසු රටවල් අනුගමනය කරමින්, හදිසි තත්ත්වයක් යටතේ අප ෆයිසර් එන්නත ලබා දීමට තීරණය කර තිබෙනවා.  ඕස්ටේ‍්‍රලියානුවන්ට ලැබෙන පළමු කොරෝනා ප‍්‍රතිශක්තිකරණ එන්නත වන්නේ මෙයයි’ යැයි අගමැති ස්කොට් මොරිසන් මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසුවේය.

‘ෆයිසර්’ එන්නතට අමතරව ‘ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රාසෙනකා’ එන්නත ද මිලියන 50 ක් ඇණවුම් කිරීමට කටයුතු යොදා ඇති බව ද අග‍්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසා තිබේ.

ෆයිසර් එන්නත පළමුනේ ම ලැබෙනු ඇත්තේ සෞඛ්‍ය අංශයේ සාමාජික සාමාජිකාවන්ට සහ වැඩිහිටියන්ට යැයි ද  ඕස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

අසල්වැසි නවසීලන්තය මෙන්ම,  ඕස්ටේ‍්‍රලියාව ද ප‍්‍රාන්ත මට්ටමින් සාර්ථකව ‘කෝවිඩ් 19’ වයිරස ව්‍යාප්තිය පාලන කර ගැනීමට සමත් වූ රටකි. ප‍්‍රාන්ත මට්ටමින් මුහුණු ආවරණ අනිවාර්ය කිරීම සහ සංචරණ සීමා පැනැවීම සිදුවෙයි.

ඕස්ටේ‍්‍රලියාවේ ජනගහන මිලියන 25 ක් වන අතර, එරටින් වාර්තා වන ‘කෝවිඩ් 19’ ආසාදිතයන් ගණන 28,700 කි. මරණ වාර්තා වන්නේ 909 ක් ලෙසය.

සිඞ්නි නුවරදීය (රොයිටර්)


RECOMMEND POSTS