හිටපු අගමැති හිරේ



මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී, දස වසරක සිර දඩුයමක් ද නියම වී, ලාහෝරයේදී අත්අඩංගුවට ගත් පාකිස්තාන හිටපු අගමැති නවාස් ෂරීෆ් සහ ඔහුගේ දියණිය බන්ධනාගාර ගතකර ඇත.

මොවුන් දෙදෙනා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට යළි පාකිස්තානය බලා පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බව පැවැසිණි. අගමැති ධුරය හොබවද්දී, අක්‍රමිකතා රැසකට ද නවාස් ෂරීෆ් සහ ඔහුගේ පවුලේ අය සම්බන්ධ වුණු බවට චෝදනා එල්ල වී තිබුණි.

එම චෝදනා සම්බන්ධයෙන් පසුගිය දා නඩු විභාගයක් පැවැති අතර, එහි තීන්දුව ලබා දෙන විට නවාස් ෂරීෆ් හෝ චෝදනා ලැබූ ඔහුගේ පවුලේ සාමාජිකයන් හෝ අධිකරණයේ පෙනී සිටියේ නැත. අධිකරණය තීන්දුව ලබා දුන්නේ ඔවුන් නොමැතිවය.

හිටපු අගමැති ෂරීෆ්ට 10 වසරක සිර දඩුවමක් සහ පාකිස්තාන රුපියල් බිලියන 13 ක දඩ මුදලක් නියම කර තිබේ. දියණියට ලැබී ඇත්තේ වසර 7 ක සිරදඩුවමකි. නවාස් ෂරීෆ්ගේ බෑණා ට වසරක සිර දඬුවමක් නියම වී ඇති අතර, මේ වනවිටත් ඔහු සිටින්නේ බන්ධනාගාරයේය.

නවාස් ෂරිෆ්ගේ බිරිඳ පිළිකා රෝගියෙකි. දැඩි අසාධ්‍ය තත්ත්වයක පසුවන ඇය ප්‍රතිකාර ගන්නේ ලන්ඩන් රෝහලයකය. අධිකරණ තීන්දුව ලබා දෙද්දී, ෂරීෆ් සහ දියණිය සිටියේ ඇය අසලය. තමා හෝ තම පවුලේ අය හෝ කිසිදු අකටයුත්තක් කර නැති බව ෂරීෆ් පවසා ඇත.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS