හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරනවා



හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින්, දේශසීමා තාප්පය ඉදිකිරීමට පියවර ගන්නා බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කියයි.

ඇමෙරිකා ජනාධිපතිවරයකුට, ඔහුට ලැබී ඇති බලතල අනුව, හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ හැකිය. ඒ, ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් යුද්ධයක් හෝ ආපදා තත්ත්වයක් ඇති විටය.

හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු, ඇමෙරිකා පාර්ලිමේන්තුව හෙවත් කොංග්‍රසය (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් මණ්ඩලය) අභිබවා තනිවම තීරණ ගැනීමට හැකියාව ජනාධිපතිවරයාට හිමිවෙයි. ඒ අනුව, දේශසීමා තාප්පය ඉදිකිරීමට අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීමට ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට හැකියාව ලැබේ.

ජනපති ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත්තේ, දේශසීමා තාප්පය හෝ යකට වැට හෝ ඉදි කිරීම සිදුවනු ඇත්තේ, ඇමෙරිකා හමුදාව වෙනුවෙන් සහ ජාතික ආපදා වෙනුවෙන් වෙන් කර ඇති මුදල් ප්‍රතිපාදන යොදා ගනිමින් කියාය.

ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාව වෙනුවෙන්, ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාවේ තාප්පයක් හෝ යකඩ වැටක් හෝ ඉදි කිරීම ට්‍රම්ප්ගේ 2016 වසරේ ඡන්ද පොරොන්දුවකි.

ජනපති ට්‍රම්ප්ගේ මෙම අදහසට ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන් දැඩි ලෙස විරෝධය දක්වයි. ඇමෙරිකාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන් සතුවය. එහෙයින්, දේශසීමා තාප්පය ඉදිකිරීමට අවශ්‍ය මුදල් ප්‍රමාණය ද ඇතුළත් කරමින් පසුගිය දෙසැම්බරයේ අයවැය ලේඛනය ඉදිරිපත් කළ අවස්ථාවේදී, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ විරෝධය එල්ල විය. අයවැය සම්මත කර ගැනීමට නොහැකිව ඇමෙරිකා රජය දින 35 ක් තිස්සේ අකර්මණ්‍ය විය.

ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ ඇතැමුන් පවා මෙම දේශසීමා තාප්පයට විරෝධය පළ කර ඇත. කෙසේ නමුත් ජාතික ආරක්ෂාව වෙනුවෙන් ට්‍රම්ප් ගෙන ඇති තීරණයට තමන් සහාය දක්වන බව ඔවුන් පෙන්වා දී ඇත.
ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ විශ්වාසස, ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාව හරහා අනවසරයෙන් පැමිණෙන පිරිස් ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවය.

ඇමෙරිකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්, අපරාධ ඉහළ යන්නේ එසේ අනවසරයෙන් පැමිණෙන සංක්‍රමණිකයන් හේතුවෙන් යැයි ට්‍රම්ප් චෝදනා කරයි. ඇමෙරිකාවේ ආරක්ෂාව සහ ස්වෛරීත්වය වෙනුවෙන් දේශසීමාවේ තාප්පයක් ඉදි කළ යුතුයි යන දැඩි ස්ථාවරයෙන් ට්‍රම්ප් පසුවෙයි.

මේ අතර, පසුගිය නොවැම්බරයේ සිට මේ දක්වා, මෙක්සිකෝවේ සිට ඇමෙරිකාවට පැමිණි 2,000 ක පිරිසක් ඇමෙරිකන් දේශසීමා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන හෝ ආපසු හරවා යවා හෝ ඇති බව ඇමෙරිකන් පුවත් සේවා පෙන්වා දෙයි.

දේශසීමාවේ පවතින අර්බුදකාරී තත්ත්වය ‘හදිසි තත්ත්වයක්’ බව ජනාධිපති ට්‍රම්ප් පවසා ඇති නමුත්, එය එසේ හදිසි තත්ත්වයක් නොවන බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය. මීට දශකයකට පෙර දේශසීමා හරහා ඇමෙරිකාවට ඇතුළු වෙන්න හැදූ පුද්ගලයන්ගේ ප්‍රමාණය මේ වනවිට බෙහෙවින් අඩුවී ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.

එපමණක් නොව, මෙක්සිකෝ දේශසීමා හරහා ඇමෙරිකාවට ඇතුළුවීමට උත්සාහ ගන්නා හොන්ඩුරාස් වැනි ලතින් ඇමෙරිකා රටවලින් පැමිණෙන සංක්‍රමණිකයන්, ඇමෙරිකාවට ඇතුළුවීමට උත්සාහ ගන්නේ නීත්‍යාණුකූලවය.

ජනාධිපති ට්‍රම්ප් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වීම සම්බන්ධයෙන්, නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා ඩිමොක්‍රටික් පාක්ෂික නැන්සි පෙලෝසී සහ සෙනෙට් මණ්ඩලයේ ඩිමොක්‍රටික් නියෝජිත චක් ෂූමර් තරයේ විරෝධය පළ කර ඇත.

ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් එසේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කළොත්, එමගින් රට අරාජිත වනු ඇති බවය. ට්‍රම්ප් එසේ කළොත්, නීතිමගින් ට්‍රම්ප්ට එරෙහිව පියවර ගන්නා බව ද ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂය පවසා ඇතැයි ද ඇමෙරිකන් පුවත් සේවා පෙන්වා දෙයි.

පසුගිය දා රිපබ්ලිකන්වරුන් සහ ඩිමොක්‍රටික්වරුන් සාකච්ඡා පවත්වා එකඟතාවකට පැමිණ අයවැය සම්මත කර ගැනීමට පනත් කෙටුම්පත් සකස් කෙරුණි. කොංග්‍රසයේ අනුමැතිය හිමිවුණු එම පනත් කෙටුම්පතට දේශසීමා ආරක්ෂාව වෙනුවෙන් මුදල් වෙන් කෙරුණි.

එම මුදල් ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් බිලියන 1.3 කි.

ජනාධිපති ට්‍රම්ප් පෙන්වා දී ඇත්තේ ඔහු යෝජනා කළ තාප්පය හෝ යකඩ වැට හෝ වෙනුවෙන් වැයවන මුදල් ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් බිලියන 5.7 ක් බවය. හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමෙන් ට්‍රම්ප් පරිපාලනයට පහසුවෙන් එම මුදල ලබා ගැනීම කළ හැකි වෙයි.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS