ප්‍රහාරයට අපේ සම්බන්ධයක් නෑ



නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ බන්ධනාගාරයට එල්ල වූ ප්‍රහාරයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව ඇෆ්ගන් තලේබාන් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කළේය.

බන්ධනාගාරයට පහර දුන්නේ ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන්ය. ත්‍රස්තවාදීන් බන්ධනාගාරයට කඩා වැදී පහර දුන්නේ එහි රඳවා සිටි අයි.එස්. සාමාජිකයන් මුදා ගැනීමටය.

ත්‍රස්තවාදීන්ගේ අරමුණ සාර්ථක වූ බවත් බන්ධනාගාරයේ සිරගතව සිටි 150 කට වැඩි රැඳෙවියන් පිරිසක් පලා ගිය බවත් ඇෆ්ගන් රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ත්‍රස්තයන් එල්ල කළ ප්‍රහාරයෙන් 29 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 52 කි. මියගිය 29 දෙනා අතර බන්ධනාගාරයේ නියාමකවරුන්, රැඳෙවියන් පමණක් නොව, සිවිල් වැසියන් කිහිප දෙනකු ද සිටින බව ද පැවැසෙයි. ප්‍රහාරය එල්ල වූයේ නන්ගහාර් පළාතේ බන්ධනාගාරයටය.

ඇෆ්ගනිස්තානයේ ප්‍රධාන තලේබාන් ත්‍රස්ත සංවිධානයට අමතරව, එම සංවිධානයට අවනත නොවන තලේබාන් කල්ලි ක්‍රියාත්මක වෙයි. අයි.එස්. ත්‍රස්තවාදීන් ඇෆ්ගනිස්තානයට ව්‍යාප්ත වූයේ මෙම කල්ලි සමඟ එක් වෙමිනි. අද වනවිට අයි.එස්. ත්‍රස්තයන් තනිවම ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරයි.

කාබුල්හිදීය (ඒ.එෆ්.පී)


RECOMMEND POSTS