ප්‍රහාරක ගුවන් යානා දෙකක් වෙනිසියුලාවට



න්‍යෂ්ටික අවි රැගෙන යා හැකි රුසියාවට අයත් ප්‍රහාරක ගුවන් යානා දෙකක් වෙනිසියුලාවට පැමිණ ඇත.

රුසියාවේ මිත්‍ර රටක් වන සමාජවාදී ආණ්ඩු ක්‍රමයක් පවතින වෙනිසියුලාවට එලෙස න්‍යෂ්ටික අවි රැගෙන යා හැකි ප්‍රහාරක ගුවන් යානා දෙකක් ගොඩබැස්ස වීම ඇමෙරිකා එක්සත් ජනපදයේ කෝපයට හේතු වී ඇතැයි ද පැවසේ.

මෙලෙස වෙනිසියුලාවට පැමිණ ඇත්තේ ‘ටී.යූ. - 60 සුපර්සොනික් බොම්බර්ස්’ නැමැති ප්‍රහාරක ගුවන් යානා දෙකකි. රුසියානු ගුවන් නියමුවන් මෙම යානා ‘ධවල හංසයන් (වයිට් ස්වෝන්ස්)’ යනුවෙන් හඳුන්වන අතර යානා ගොඩ බස්සවා ඇත්තේ වෙනිසියුලාවේ කැරකස් අගනුවර ආසන්නයේ පිහිටි ‘මයික් ෂා’ ගුවන් තොටුපොළටය. කිලෝමීටර 10,000ක දුරක් ගෙවා දමමින් එම ගුවන් යානා දෙක  ගොඩ බැස්සවූ බව දෙරටේම ආණ්ඩු තහවුරු කළහ.

මෙලෙස ප්‍රහාරක ගුවන් යානා වෙනිසියුලාවට පැමිණියේ එරට ජනාධිපති නිකොලස් මදුරෝ සහ රුසියානු ජනාධිපති පුටින් අතර මොස්කව් නුවර පැවැති සාකච්ඡාවලින් පසුවය. වාමාංශික පාලනයක් සහිත වෙනිසියුලාව ලතින් ඇමෙරිකානු කලාපයේ සිටින ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධානම සතුරාය.

තෙල් අපනයනය කරන රටවල සංවිධානයේ සාමාජික රටක් වන වෙනිසියුලාව සමාජවාදී ආර්ථික ක්‍රමයක් සහිත රටක් වන අතර එය මහත් අර්බුදයකට මුහුණ දී සිටී. වෙනිසියුලාව අර්බුදයෙන් මුදා ගැනීමේ ප්‍රධානතම පාර්ශවය බවට පත්ව ඇත්තේ රුසියාවය. රුසියාව වෙනිසියුලාවේ තෙල් කර්මාන්තයේ ආයෝජනය කරමින් සිටින අතර හමුදා සහාය ද ලබා දෙමින් සිටී.

හර්ෂණ තුෂාර සිල්වා

(රොයිටර්ස්)


RECOMMEND POSTS