නව දේශපාලන ගමනකට සූදානම්



ලැබූ විශිෂ්ට ජයග්‍රහණයෙන් පසු, සිය ආධාරකරුවන් අමතමින්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කියා සිටියේ එල්ල වන අභියෝගවලට මුහුණ දෙමින් නව දේශපාලන ගමනක් ආරම්භ කරන බවය.

රුසියාවේ ජනාධිපතිවරණය පැවැත්වූයේ පසුගිය 18 වැනිදා ය. පුටින් රුසියාවේ ජනපති ධුරයට පත් වූයේ සිවු වැනි වරටය. පුටින්ට අමතරව අපේක්ෂකයෝ හත් දෙනෙක් ජනපතිවරණයට ඉදිරිපත් වූහ.

කෙසේ නමුත් දේශපාලන විශ්ලේෂකයන් අනාවැකි පළ කළ ආකාරයට ඔවුන් කිසිවකුට පුටින්ට අභියෝගයක් වීමට හැකියාවක් නොලැබුණි. සියයට 99.8 ක ඡන්ද ප්‍රතිශතයක් ගණන් කර අවසන් වෙද්දී, පුටින් සියයට 76.7 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගෙන සිටියේය.

රුසියානු ඉතිහාසයේ මෙතරම් වැඩි ඡන්ද ප්‍රතිශතයක් මීට පෙර කිසිදු ජනපති අපේක්ෂකයකු විසින් දිනා ගනු ලැබ නැතැයි එරට මාධ්‍ය වාර්තා පවසයි. පුටින් තවත් සය වසරක කාලයකට, 2024 තෙක් ජනපති ධුරයේ රැඳී සිටිනු ඇත.

දේශපාලනික පමණක් නොව, ආර්ථික වශයෙන් ද එල්ල වන අභියෝගවලට මුහුණ දෙමින් ඉදිරි ගමනක් යෑමට තමන් පියවර ගන්නවා යැයි පුටින් පවසද්දී, පක්ෂ ආධාරකරුවෝ ඔල්වරසන් දෙන්න වූහ. පුටින් පිරිස ඇමැතුවේ මොස්කව් නුවරදීය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS