ජෝර්ජ් කුමරුගේ පාසලට ආ කත කොටුවෙයි



විලියම් කුමරු සහ කේට් මිඞ්ල්ටන් කුමරියගේ වැඩිමල් පුතු ජෝර්ජ් කුමරු අධ්‍යාපනය ලබන පාසලට අනවසරයෙන් අවස්ථා දෙකකදී ඇතුළු වූ කාන්තාවක අත්අඩංගුවට ගත් බව පුවත් සේවා වාර්තා කරයි.

40 හැවිරිදි මෙම කාන්තාවගේ අනන්‍යතාව මෙතෙක් මාධ්‍ය වෙත නිකුත් කර නැත. කාන්තාව අත්අඩංගුවට ගැනීම සිදුවූයේ ස්කොට්ලන්ඞ් යාඞ් රහස් පොලිසියේත් ලන්ඩන් පොලිස්යේත් ඒකාබද්ධ මෙහෙයුමකින් යැයි ද පැවැසෙයි. පොලිසිය පවසන්නේ ඇයගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරන බවය.

මෙම කාන්තාව ජෝර්ජ් කුමරුන්ට අනතුරක් කිරීමේ අරමුණින් හෝ ඔහු පැහැර ගැනීමේ අරමුණින් පැමිණි අයකු යැයි සැකයක් පවතින බව ස්කොට්ලන්ඞ් යාඞ් නිලධාරීහු පවසති.

ජෝර්ජ් කුමරු සිය පාසල් ගමන ඇරැඹුවේ මීට සති කිහිපයකට පෙරය. ජෝර්ජ් කුමරුන්ගේ පාසල වන්නේ දකුණු ලන්ඩනයේ බැටර්සී හි ‘තෝමස් ලන්ඩන් ඬේ ස්කූල්’ පාසලයි.

මෙම කාන්තාව පෙරේදා දිනයේ පාසලට පිවිස ඇත්තේ මාපියන් ද සමඟය. කෙසේ නමුත් පාසලේ ආරක්ෂක අංශ ඇය ගැන සැක සිතා ඒ බව රජ පවුලටත්, පොලිසියටත් දන්වා ඇත.

ඇය යළි පැමිණියහොත් අල්ලා ගැනීමේ අරමුණින්, ස්කොට්ලන්ඞ් යාඞ් රහස් පොලිසියේ නිලධාරීන් වෙස්වළාගෙන පාසලේත් ඒ අවටත් ගැවසී සිට ඇත. දෙවැනි වරට කාන්තාව පාසලට ඇතුළු වුණු අවස්ථාවේදී ඔවුහු ඇය අත්අඩංගුවට ගත්හ.

(ඬේලිමේල් ඇසුරිනි)


RECOMMEND POSTS