චීන ජනපති අනිද්දා උතුරු කොරියාවට



චීන ජනාධිපති ෂී ජින්පින් අනිද්දා (20) අසල්වැසි උතුරු කොරියාවට ගොස් උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවීමට නියමිතය.

චීන ජනාධිපති ෂී ජින්පින් උතුරු කොරියාවට යන පළමු අවස්ථාව මෙය වනු ඇත. චීන ජනාධිපතිවරයකු උතුරු කොරියාවේ සංචාරයකට යන්නේ වසර 14 කින් පසුවය.

චීනය සහ උතුරු කොරියාව අතර සමීප සබඳතා පවතී. ඇමෙරිකාවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයත් උතුරු කොරියාවට සම්බාධක පනවා ඇති බැවින්, උතුරු කොරියාව ගනුදෙනු කරන්නේ චීනය සමඟ පමණි.

උතුරු කොරියාවේ අභ්‍යවකාශ, න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන්වලදී සහාය දක්වන්නේ ද චීනයයි. සාමයට කැපවී සිටින උතුරු කොරියා නායක කිම් ජොන් උන් මේ වනවිට එරට න්‍යෂ්ටික වැඩසටහන නවතා දමා ඇති බවත්, න්‍යෂ්ටික අවිහරණ කටයුතු සිදු කරන බවත් වාර්තා වේ.

ඇමෙරිකාව චෝදනා කර ඇත්තේ උතුරු කොරියාව ප්‍රමාණවත් අන්දමින් න්‍යෂ්ටික අවිහරණ කටයුතු සිදු නොකරන බවටය. ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර වියට්නාමයේ හැනොයි නුවර පැවැති සමුළුව අසාර්ථක වූයේ ද මේ හේතුව නිසාය.

චීන ජනාධිපතිවරයා සහ උතුරු කොරියා නායකයා අතරේ හමුවක් පැවැත්වෙන්නේ, උතුරු කොරියාව සහ ඇමෙරිකාව අතර අර්බුදකාරී තත්ත්වයක් පවතින අවස්ථාවකය.

උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ චීන ජනාධිපති ෂී ජින් අතරේ පසුගිය කාලයේ අවස්ථා 3 කදී හමුවීම් සිදුවිය. ඒ, උතුරු කොරියා නායකයා ඔහුගේ විශේෂ දුම්රියෙන් චීනය බලා ගිය අවස්ථාවලදීය.

බීජීංහිදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS