‘ටෙම්බින්’ පිලිපීනය කළඹයි



බටහිර කාලගුණ විද්‍යාඥයන් විසින් ‘ටෙම්බින්’ යනුවෙන් නම් කළ ප්‍රචණ්ඩ සුළි කුණාටුව මහ වැසි ද සමඟ පිලිපීන දූපත් රාජ්‍යය හරහා හමා ගියේය.

‘ටෙම්බින්’ සුළි කුණාටුව ගැන කල්තියා අනතුරු ඇඟවීමට පිලිපීන කාලගුණ විද්‍යා බලධාරීන් කටයුතු කර තිබුණ ද ඔවුන් අපේක්ෂා කළාට වඩා දස ගුණයකින් එය ප්‍රබල විය.

බටහිර කාලගුණ විද්‍යාඥයන් ‘ටෙම්බින්’ යනුවෙන් මෙම සුළි කුණාටුව නම් කර තිබුණ ද පිලිපීන කාලගුණ විද්‍යාඥයන් මෙය නම් කර ඇත්තේ ‘වින්ටා’ යන නමිනි.

හදිසියේ හටගත් ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් පිලිපීන දූපත්වල 200 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වුණු බවය. ලක්ෂ දෙකකට ආසන්න පිරිසකට උන්හිටිතැන් අහිමි විය.

මුහුදු යෑමෙන් වැළැකී සිටින්නැයි ධීවරයන්ට අනතුරු ඇඟවීම් කර තිබුණු නමුත් වෙරළාරක්ෂක නිලධාරීන් කියා සිටියේ එම අනතුරු ඇඟවීම් පිළිබඳ තැකීමක් නොකර මූදු ගිය ධීවරයන් බොහෝ දෙනකු අතුරුදන් බවය. සුළි කුණාටුව හමා ආවේ පැයට කිලෝ මීටර් 80 කට වැඩි වේගයකිනි.

සුළි කුණාටුවෙන් ප්‍රබල හානි සිදුවූයේ ටූබොඞ් සහ පියාගැප්පෝ නමැති නගරවලටය. හදිසි හටගත් ජල ගැලීම්වලට නිවාස රැසක් ගසාගෙන ගියේ යැයි පැවැසෙයි. පිලිපීන බලධාරීන් බිය පළ කර ඇත්තේ මරණ සංඛ්‍යාව තව තවත් ඉහළ යෑමේ අවදානමක් පවතින බවය.

සුළි කුණාටුවෙන් සිදුවුණු ජීවිත සහ දේපොළ හානිය ගැන දැනගන්න ලැබීමෙන් තමා දැඩි ලෙස කම්පනයට පත් වුණැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. විපතට පත් වූ පිලිපීන ජාතිකයන් වෙනුවෙන් ආධාර ලබා දීමට කටයුතු කරන්නැයි ද මහ ලේකම්වරයා ලෝකයේ සෙසු රටවලින් ඉල්ලීමක් කර ඇති බව ද දැනගන්න ලැබේ.

සුළි කුණාටුව පිලිපීන දූපත් හරහා හමා යෑම ඇරැඹුණේ පසුගිය සිකුරාදා සවසය. නායයෑමට ලක් වීමෙන්, කඳුකර පළාත්වල නගර දෙකක් මුළුමනින්ම පස් තට්ටු යට සැඟවී ගොස් ඇතැයි පිලිපීන බලධාරීහු කියති.

ජල ගැලීම් හේතුවෙන් කොටුවී සිටින පිරිස් බේරා ගැනීමටත් සහන සේවා කටයුතු සඳහාත් පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩුටරේට්ස් හමුදාව යොදවා ඇති බව ද වාර්තා වේ. උන්හිටිතැන් අහිමිවූවන් පාසල්, ප්‍රජාශාලා සහ සහන කඳවුරුවල වෙසෙන බව ද පැවැසෙයි.

 (රොයිටර්)


RECOMMEND POSTS