සුවිශේෂී හමුවක් හෙට



දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් හෙට (18) තෙදින නිල සංචාරයක් සඳහා උතුරු කොරියාවේ යොංග්යැංග් නුවර බලා පැමිණීමට නියමිතය.

දකුණු කොරියා ජනාධිපතිවරයාගේ මෙම උතුරු කොරියා සංචාරය ලෝක දේශපාලනයේ සන්ධිස්ථානයක් වනු ඇත.

ඊට හේතුව, කොරියානු යුද්ධයෙන් පසු උතුරු දකුණු වශයෙන් කොරියානු අර්ධද්වීපය දෙකඩ වීමෙන් පසු, දකුණු කොරියානු ජනාධිපතිවරයකු උතුරු කොරියාවේ සංචාරයක් සඳහා යන පළමු අවස්ථාව මෙයයි.

දකුණු කොරියා ජනාධිපතිවරයා සමඟ දකුණු කොරියා රජයේ නියෝජිතයන් 200 දෙනකුට වැඩි පිරිසක් ද මෙම උතුරු කොරියා සංචාරයට එක්වනු ඇතැයි පැවැසෙයි. 

දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර තෙවැනි හමුව ලෙස උතුරු කොරියාවේ යොංග්යැංග් අගනුවර කේන්ද්‍රකොට ගනිමින් පැවැත්වෙන කොරියානු සමුළුව නම් කර ඇත.

නායකයන් දෙදෙනාගේ පළමු හමුව පැවැත් වූයේ මැයි 26 වැනිදාය. මැයි 26 වැනිදා පළමුවෙන් නායකයන් දෙදෙනා දේශසීමා මායිමේදී හමුවී අතට අත දී සාකච්ඡුා කළහ. මෙය පළමු නිල හමුව ලෙස සැලකෙයි.

එම කතාබහෙන් පසු, උතුරු කොරියා දකුණු කොරියා දේශසීමාවේ, දකුණු කොරියාවේ ‘බ්ලූ හවුස්’ යනුවෙන් හැඳින්වෙන ශාලාවේදී දෙවැනි හමුව පැවැත්විණි. ඊට දෙරටේ නියෝජිතයෝ ද සහභාගී වූහ. නිල වශයෙන් මෙය දෙවැනි හමුව ලෙස සැලකෙයි.

එහිදී පැවැත්වුණු සාකච්ඡුා සාර්ථක විය. කොරියා අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීමට තමන් කැමැති බව උතුරු කොරියා නායක කිම් ජොන් උන් එම අවස්ථාවේදී ප‍්‍රතිඥා දුන්නේය.

පසුගිය ජූනි 12 වැනිදා සිංගප්පූරුවේදී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ කිස් ජොන් උන් අතර හමුවක් පැවැත්වූයේ කොරියානු සමුළුවේ සාර්ථකත්වය මුල්කොට ගනිමිනි.

හෙට (18) දිනයේ රාජ්‍ය නායකයන් දෙදෙනා එකිනෙකා හමුවී, න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් සහ දෙරට සාම කි‍්‍රයාවලිය ඉදිරියට සිදුවන්නේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS