සිවිල් වැසියන් මියයෑම ගැන විමර්ශණයක් ආරම්භ කළා



ඉන්දීය හමුදාව අතින්, එරට නාගලන්ත ප්‍රාන්තයේ සිවිල් වැසියන් ඝාතනය වීම සම්බන්ධයෙන්, අපක්ෂපාතී විමර්ශනයක් කඩිනමින් ආරම්භ කරන බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා පවසා තිබේ.

නාගලන්තය ඇත්තේ මියන්මාර දේශසිමාව අසලය. නාගලන්තය සඳහා වෙනම පාලනයක් ඉල්ලන බෙදුම්වාදී සටන්කාමීන්, නාගලන්ත ප්‍රාන්ත රජයටත්, ඉන්දීය මධ්‍යම රජයටත් තර්ජනයකි.

පසුගිය දා ඉන්දීය හමුදාව සැඟවී සිට පහර දී ඇත්තේ බෙදුම්වාදී සටන්කාමීන් පිරිසක් ඉලක්ක කර ගනිමිනි. කෙසේ නමුත් හමුදාවට ලැබී තිබූ තොරතුරු නිවැරදි නොවුණු අතර, ඔවුන් පහර දුන්නේ ට්‍රක් රියකින් ගමන් කරමින් සිටි පතල් සේවකයන් පිරිසකටය. පතල් සේවකයෝ සය දෙනෙක් වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූහ.

එම සිදුවිම සම්බන්ධයෙන් කෝපයට පත් මියගිය පුද්ගලයන්ගේ ඥාතීහු ඉන්දීය හමුදා කඳවුර වට කරමින්, ඊට බලෙන් ඇතුළු වී ඉන්දීය සොල්දාදුවන් සමඟ ගැටුම් ඇති කර ගත්හ. එම අවස්ථාවේදී හමුදාව කලහකාරී පිරිසට වෙඩි තැබූ අතර, එම වෙඩි තැබීම්වලින් තවත් සිවිල් වැසියෝ හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඊට අමතරව, එක් ඉන්දීය හමුදා සොල්දාදුවකු ද ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ.

නාගලන්තය ඇත්තේ ඉන්දියාවේ උතුරු දෙසිනි. නාගලන්ත බෙදුම්වාදී සටන්කාමීන් සහ ඉන්දීය හමුදාව අතරේ අවි ගැටුම් පවතින්නේ වසර ගණනක් තිස්සේය.

ඉන්දීය හමුදාව වැරදීමකින් සිවිල් වැසියන් ඉලක්ක කරගෙන පහරදුන් පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි. සිවිල් වැසියන් මියයෑම සිදුවූයේ පසුගිය සති අන්තයේ මොන් දිස්ත්‍රික්කයේ ඔටින්ග් නමැති ගම්මානය අසලය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS