ස්පාඤ්ඤයට නව අගමැතිවරයෙක්



අගමැති ධුරයේ සිටි මාරියෝ රජෝයිගේ ඉවත්වීමත් සමඟ ස්පාඤ්ඤයේ නව අගමැති ලෙස සමාජවාදී නායක පේඩ්‍රෝ සැන්චේස් දිවුරුම් දුන්නේය.

පේඩ්‍රෝ සැන්චේස් අදේවවාදියෙකි. ස්පාඤ්ඤ ව්‍යවස්ථාව සුරකින බව පවසමින්, සැන්චේස් දිවුරුම් දුන්නේ, බයිබලයක් හෝ කුරුසයක් නොමැතිවය. අදේවවාදියකු ස්පාඤ්ඤ අගමැති ධුරයට පත්වුණු පළමු අවස්ථාව මෙය යැයි ස්පාඤ්ඤ පුවත් සේවා පෙන්වා දෙයි.

46 හැවිරිදි සැන්චේස් දිවුරුම් දුන්නේ ස්පාඤ්ඤයේ හයවැනි පිලිප් රජු ඉදිරියේය. ඒ, මැඞ්රිඞ් නුවර රජ මාලිගයේ පැවැත්වුණු විශේෂ උත්සවයකදීය.

අගමැති ධුරයේ කටයුතු කළ මාරියෝ රජෝයිට දූෂණ වංචා චෝදනා එල්ල විය. ඒ අනුව, සමාජවාදී සැන්චේස්ගේ ප්‍රධානත්වයෙන්, මාරියෝ රජෝයිට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන ලදී. සෙසු පක්ෂවල සහාය සැන්චේස්ට හිමිවිය.
විශ්වාසභංගයෙන් පරාජය වීමෙන් පසු, මාරියෝ රජෝයි අගමැති ධුරයෙන් ඉවත් වූයේය. ස්පාඤ්ඤයේ මෑත කාලයේ විශ්වාසභංගයකින් ඉවත් කෙරුණු පළමු අගමැතිවරයා වන්නේ මාරියෝ රජෝයි යැයි ද ස්පාඤ්ඤ පුවත් සේවා වැඩිදුරටත් වාර්තා කර ඇත.

මාරියෝ රජෝයිගේ ධුර කාලය අවසන් වීමට තවත් වසර දෙකක කාලයක් ඉතිරි වී ඇති අතර, පේඩ්‍රෝ සැන්චේස් එම වසර දෙක සම්පූර්ණ කරනු ඇතැයි ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී./රොයිටර්)


RECOMMEND POSTS