වහාම යුක්රේනයෙන් පිටවෙන්න - ඇමෙරිකාව



වහා යුක්රේනයෙන් පිටවෙන්නැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව යුක්රේනයේ සිටින සිය තානාපති කාර්යාල නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට දැනුම් දී තිබේ.

ඊට අමතරව මේ මොහොතේ කිසිම හේතුවක් නිසා යුක්රේනයට යෑමෙන් වළකින්නැයි ද ඇමෙරිකාව එරට වැසියන්ට අනතුරු ඇගවීම් කර තිබේ. ඇමෙරිකාව මෙසේ අනතුරු ඇඟවීම් කර ඇත්තේ, රුසියාව යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයකට සූදානමින් සිටින බැවිනි.

කෙසේ නමුත් රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් තරයේ පවසා ඇත්තේ, යුක්රේනය ආක්‍රමණය කිරීමේ කිසිදු අදහසක් නොමැති බවය. රුසියානු හමුදා දහස් ගණනින් යුක්රේන රුසියානු දේශසීමාවේ සීරුවෙන් තැබීමට ජනාධිපති පුටින් උපදෙස් දී ඇත්තේ යුක්රේනය, නේටෝ සංවිධානය සමඟ සමීප සබඳතා පැවැත්වීම රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව රුසියන් ජනාධිපති තරයේ පවසා තිබේ.

මේ අතර, යුක්රේනයේ ජනාධිපති ධුරයට, තම හිතවාදියකු පත් කර ගැනීමට රුසියන් ජනාධිපති ව්ලැදිමිර් පුටින් ප්‍රමුඛ රුසියන් රජය කුමන්ත්‍රණය කරන බවට බි්‍රතාන්‍ය බුද්ධි අංශ අනතුරු අඟවා තිබේ.

යුක්රේනයේ රුසියන් හිතවාදීන් සහ රුසියන් හිතවාදී බෙදුම්වාදී සටන්කාමීන් ද සිටින අතර, රුසියාව යුක්රේනය ආක්‍රමණය කළහොත් ඔවුන්ගේ සහාය රුසියාවට හිමිවනු ඇත.

2014 වසරේ දී රුසියාව යුක්රේනයට අයත් ක්‍රිමියා අර්ධද්වීපය ආක්‍රමණය කළේ එම බෙදුම්වාදී සටන්කාමීන්ගේ සහාය ඇතිවය. සෝවියට් සමූහාණ්ඩුව පැවැති අවදියේ, යුක්රේනය රුසියාවේ කොටසක් විය. අද යුක්රේනය යුරෝපා බටහිර රටවලට සමීප වී සිටින අතර, නේටෝ සාමාජිකයකු නොවුණත් යුක්රේනය නේටෝව සමඟ සමීපව කටයුතු කරයි.

දිනෙන් දින උණුසුම් වන යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ රුසියන් ජනාධිපති සර්ගේ ලැව්රෝෆ් අතර මුහුණට මුහුණ සාකච්ඡාවක් පසුගිය දා ජිනීවා නුවරදී පැවැත්විණි. එම සාකච්ඡා සියයට සියයක් සාර්ථක නොවුණත්, හටගෙන ඇති යුද බිය යම්තාක් දුරකට පහව ගියේ යැයි විදෙස් මාධ්‍ය වාර්තා පැහැදිලි කරයි.

බ්ලින්කන් සහ ලැව්රෝෆ් අතර සාකච්ඡා මිනිත්තු 90 ක් පුරා පැවැති බවත් එය තීරණාත්මක සාකච්ඡාවක් වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. රුසියාව යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් ගතහොත්, රුසියාවට එරෙහිව යුද ප්‍රකාශ කිරීමට ඇමෙරිකාව ඇතුළු නේටෝ සංවිධානය සීරුවෙන් සිටී.

(රොයිටර්)


RECOMMEND POSTS