ලෝක යුද සමයේ බෝම්බ දෙකක් හමුවෙලා



ලන්ඩන් නුවර් තේම්ස් නදිය අසලින්, දෙවැනි ලෝක යුද සමයේ දී නාසි හමුදාව විසින් හෙළන ලද පුපුරා නොගිය බෝම්බ දෙකක් හමුවීමත් සමඟ මහත් කලබලයක් නිර්මාණය විය.

බෝම්බ හමුවී ඇත්තේ තේම්ස් නදියේ පස්වැනි ජෝර්ජ් රජුගේ නමින් නම් කර ඇති තොටුපොළ ආසන්නයෙනි. බෝම්බ හමුවීමත් සමඟ ලන්ඩන් මෙට්‍රෝ පොලිසිය වහා ක්‍රියාත්මක වී, මීටර් 214 ක වට ප්‍රමාණයක සිටින සියලු දෙනා වහා ඉවත් කරන ලදී.

ලන්ඩන් මෙට්‍රෝ ගුවන්තොටුපොළ වසා දැමීමටත් එහි මගීන් සහ කාර්ය මණ්ඩල සේවකයන් ඉවත් කිරීමටත් කටයුතු යෙදුණි. බෝම්බ නිෂ්ක්‍රීය කිරීම සිදුවූයේ පොලිසියේත් රාජකීය නාවික හමුදාවේත් බෝම්බ නිෂ්ක්‍රීය අංශ නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් යැයි පසුව වාර්තා විය.

ගුවන්තොටුපොළ වසා දැමීමත් සමඟ මගීහු දහස් ගණනක් දැඩි අපහසුතාවට පත් වුණු බව වාර්තා විය. ගුවන් යානා වෙනත් ගුවන්තොටුපොළට හරවා යැවීමක් සිදුවිය.

දෙවැනි ලෝක යුද සමයේ, එනම් 1940 වසරේ සැප්තැම්බරයේ සිට 1941 වසරේ මැයි දක්වා ජර්මන් ගුවන් හමුදාව බෝම්බ දහස් ගණනක් ලන්ඩනයට හෙලන ලදී.

ඒවායින් පුපුරා නොගිය අතලොස්සක් තවමත් තැන් තැන්වල සැඟවී ඇත. මීට පෙර අවස්ථා ගණනාවකදී මෙවැනි පුපුරා නොගිය බෝම්බ හමුවිය. පෙරේදා දිනයේ හමුවුණු මෙම බෝම්බ දෙක යම් හෙයකින් පුපුරා ගියේ නම් මහා විනාශයක් සිදුවීමට ඉඩ තිබුණේ යැයි ලන්ඩන් පොලිසිය පෙන්වා දෙයි.

(රොයිටර්/ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS