ලන්ඩන් උමං දුම්රියක බෝම්බයක් පිපිරේ



බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර උමං දුම්රියක බෝම්බයක් පුපුරා යෑමෙන් 13 දෙනෙක් තුවාල ලැබූහ.

බෝම්බය පුපුරා ගියේ බ්‍රිතාන්‍ය වේලාවෙන් අද උදේ 8.30 ට පමණය. බෝම්බය පුපුරා යද්දී උමං දුම්රිය මගීන්ගෙන් පිරී තිබුණු අතර, එය නිරිතදිග ලන්ඩනයේ ‘පාර්සොන්ස් ග්‍රීන්’ දුම්රිය ස්ථානය වෙත ළඟා වෙමින් පැවැතිණි.

පිපිරුමත් සමඟ දුම්රියේ සිටි පිරිස මහත් සේ කලබල වූහ. බොහෝ දෙනකු උත්සාහ ගත්තේ දුම්රියෙන් පිටතට පැණීමටය. දුම්රිය තුළ සිටි පිරිස් අතරේ තෙරපීමක් ද හටගත්තේය.

බෝම්බය අටවා තිබුණේ දුම්රිය ස්ථානයේ කසල බඳුනක බවත්, එය නිවසේ ඇති ද්‍රව්‍ය උපයෝගී කර ගෙන නිර්මාණය කළ බෝම්බයක් බවත් ලන්ඩන් පොලිසිය සහ ගිනි නිවන නිලධාරීහු පසුව අනාවරණය කළහ.

පිපිරුමෙන් පසු ලන්ඩන් පොලිස් නිලධාරීන් වහා ක්‍රියාත්මක වී, දුම්රිය ස්ථානයට ආරක්ෂාව ලබා දුන් බව ද වාර්තා විය. තුවාල
ලැබූවන් කඩිනමින් රෝහල් ගත කරන ලදී. තවත් බෝම්බ දුම්රියේ අටවා ඇතිදැයි සෙවීම බෝම්බ නිෂ්ක්‍රීය අංශ නිලධාරීන් විසින් සිදු කරනු ලැබීය. බියෙන් කලබල වුණු පිරිස් පාලනය කිරීමට පොලිසියත් සහන සේවා නිලධාරීනුත් සමත් වූ බව ද වාර්තා වේ. බෝම්බය පිපිරීමෙන් පසු, දුම්රියේ ගින්නක් ද හට ගත්තේය. එය වහා නිවා දැමීමට ගිනි නිවන භටයෝ සමත් වූහ.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS