ලංකාවට එන්න කලින් පොම්පේඕ ඉන්දියාවේ‍



ශ්‍රී ලංකා සංචාරයට පෙර, ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ සහ එරට ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පැමිණි බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා සහ ආරක්ෂක ලේකම්වරයා ඇතුළු විශේෂ නියෝජිත කණ්ඩායම මහත් හරසරින් පිළිගැනීමට ඉන්දීය රජය කටයුතු කළේය. මයික් පොම්පේඕගේ බිරිඳ ද මෙම සංචාරයට එක් වී සිටී.

අගමැති නරේන්ද්‍ර මෝදි නියෝජනය කරමින්, පොම්පේඕ සහ මාර්ක් එස්පර් හමුවී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූයේ ඉන්දීය විදේශ ඇමැති එස්. ජයිශංකර් සහ ඉන්දීය ආරක්ෂක ඇමැති රාජ්නාත් සිං ය.

ඉන්දියාවත් චීනයත් අතර පසුගිය මාස කීපයේ දේශසීමා අර්බුද පැවැතිණි. එම අර්බුද සාකච්ඡා මාර්ගයෙන් සමථයකට පත් කර ගැනීමට ඉන්දීය රජයත් චීන රජයත් එකඟ වුවත්, එය පවතින අර්බුදයට සාර්ථක පිළියමක් නොවන බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

දේශසීමා අර්බුසය සම්බන්ධයෙන් පමණක් නොව, චීනය දකුණු චීන මුහුදේත්, ආසියානු කලාපයේත් සිය බලය තහවුරු කරගෙන ඇති ආකාරය සම්බන්ධයෙන් ඇමෙරිකාව කනස්සල්ලට පත් වී සිටින අතර, පොම්පේඕ සහ එස්පර් දෙදෙනා ජයිශංකර් සහ රාජ්නාත් සිං සමඟ දීර්ඝ වශයෙන් ඒ ගැන කතා කළේය.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දීය ජනාධිපති මෝදිගේ සමීපතම මිතුරෙකි. ලබන නොවැම්බර් පළමු වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත්, ඉන්දියානුවන් සහ ඉන්දියාව සමඟ පවතින මිතුදම් තවත් ශක්තිමත් කර ගැනීමට ට්‍රම්ප් බලාපොරොත්තුවෙන් සිටින බව පොම්පේඕ, ඉන්දීය විදේශ කටයුතු ඇමැතිවරයාට පැවැසුවේය.

ඇමෙරිකාවේ ඉන්දියානුවන්ගේ සහාය මෙවර ජනාධිපතිවරණයේ දී තමන්ට හිමිවනු ඇතැයි යන විශ්වාසය ට්‍රම්ප් තුළ ඇතැයි ද පොම්පේඕ වැඩිදුරටත් කියා සිටියේය.

නවදිල්ලියේදීය (ඒ.එෆ්.පී/රොයිටර්)


RECOMMEND POSTS