රහසේම පියාඹන පීරිසි ගැන සොයලා



ඇමෙරිකා යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය, පසුගිය වසර කිහිපයේ, ඩොලර් මිලියන 22 ක් වැය කර, පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් සම්බන්ධයෙන් සොයා බැලීමට නව රහස් ව්‍යාපෘතියක් ආරම්භ කර තිබුණැයි ඇමෙරිකන් පුවත් සේවා අනාවරණය කරයි.

මෙම ව්‍යාපෘතිය පිළිබඳ දැන සිට ඇත්තේ පෙන්ටගනයේ ඉහළ නිලධාරීන් කිහිප දෙනකු යැයි ද පැවැසෙයි. මෙම නව ව්‍යාපෘතිය රහසේම ආරම්භ වී ඇත්තේ 2007 දීය. ඉන්පසු 2012 දී එය කාටත් හොරා අවසන් කර දැමීමට ද බලධාරීන් කටයුතු කර ඇත.

‘ගුවනින් එල්ල වන තර්ජන හඳුනා ගැනීම සහ ඒවා පිටුදැකීම’ යන නමින් මෙම ව්‍යාපෘතිය නම් කර තිබුණි.

පිටසක්වළ යානා එසේත් නැතිනම් පියාඹන පීරිසි දුටු බවට ලැබුණු සාක්ෂි එක්රැස් කිරීම් පවා මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරුණු බව නිව්යෝක් ටයිම්ස් පුවත් සේවය පෙන්වා දෙයි.

මෙම නව ව්‍යාපෘතිය මෙහෙයවා ඇත්තේ හැරී රීඞ් විසිනි. හැරී රීඞ් යනු ඩිමොක්‍රටික් පක්ෂ සෙනෙටර්වරයෙකි. ව්‍යාපෘතිය සඳහා එවකට සෙනෙට් මණ්ඩලයේ බහුතර බලය හිමි ඩිමොක්‍රටික් පක්ෂයේ පූර්ණ සහාය ලැබී ඇත.

2009 සිට 2012 තෙක් කාලයේ ඇමෙරිකාවේ ජනපති වූයේ ඩිමොක්‍රටික් පාක්ෂික බැරැක් ඔබාමාය.

හැරී රීඞ් විශ්‍රාම යෑමත් සමඟ ව්‍යාපෘතිය නවතා දැමීමට පෙන්ටගන් බලධාරීහු පියවර ගත්හ. කෙසේ නමුත් එම කාලසීමාව තුළ හඳුනා නොගත් ආකාශ වස්තූන් සම්බන්ධයෙන් කරුණු කාරණා රැසක් එක් රැස් කර ගැනීමට පෙන්ටගනය සමත් වී ඇති බව ද පැවැසෙයි.

 (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS