බොලිවියාවට අන්තර්වාර ජනාධිපතිවරියක්



ඊවෝ මොරාලේස් ජනපති ධුරයෙන් ඉවත්වීමත් ඉවත්වීමත් බොලිවියා ජනපති ධුරය සඳහා එරට සෙනෙට් සභාවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ජැනීන් ඇනෙස් තෝරාගෙන ඇත. ඒ අන්තර්වාර ජනාධිපතිවරයකු ලෙසය.

ඉදිරියේ දී යළි ජනාධිපතිවරණයක් පවත්වනතුරු අන්තර්වාර ජනාධිපතිනිය ලෙස ජැනීන් ඇනෙස් කටයුතු කරනු ඇති බව පැවැසෙයි. පුරප්පාඩු වුණු ජනපති ධුරයට ජැනීන් ඇනෙස් තෝරා ගැනීම සම්බන්ධයෙන් ධුරයෙන් ඉවත්වුණු ජනාධිපති ඊවෝ මොරාලේස්ගේ වාමාංශික දේශපාලන පක්ෂ විරෝධය දක්වා ඇත. ජැනීන් ඇනෙස් දක්ෂිණාංශික මතධාරිණියකි. දක්ෂිණාංශික පක්ෂවල සහාය ජැනීන් ඇනෙස්ට හිමිවී ඇති බව ද වාර්තා වේ.

වසර 14 කට ආසන්න කාලයක් බොලිවියාවේ ජනපතිධුරය හෙබවූ මොරාලේස් පසුගිය ඔක්තෝබරයේ පැවැති ජනාධිපතිවරණයෙන් ද ජයග්‍රහණය කළේය.

ජනාධිපතිවරණයේ අක්‍රමිකතා සිදුවුණු බවට විපක්ෂය චෝදනා නගන්න විය. දිගටම බලයේ රැඳාී සිටීමට උත්සාහ ගන්නවා යැයි චෝදනා කරමින්, මොරාලේස්ට එරෙහිව දීප ව්‍යාප්ත විරෝධතා ආරම්භ වූයේ ඒ අනුවය. ලිවියා අධිකරණය තීන්දු කළේ ජනපතිවරණයෙන් මොරාලේස් යළි ජයග්‍රහණය කළ බවය. එම අවස්ථාවේදී විරෝධතා උත්සන්න වූ අතර, ජනපති මොරාලේස්ට එරෙහිව බොලිවියා වැසියෝ ලක්ෂ ගණනින් වීදි බැස විරෝධතා පවත්වන්න වූහ.

විරෝධතාකරුවන් මර්දනයට ජනපති මොරාලේස් ආරක්ෂක අංශ යෙදවූ අවස්ථාවේදී, බොලිවියා හමුදාව කියා සිටියේ තමන් විරෝධතාකරුවන්ට සහාය දක්වන බවය. ඒ අනුව, හමුදා ද මොරාලේස්ට බල කරන්න වූයේ ධුරයෙන් ඉවත් වන ලෙසටය.

ධුරයෙන් ඉවත් වුණු මොරාලේස් ඉන්පසු මෙක්සිකෝව බලා ගියේ මෙක්සිකෝ ජනපති විසින් එවනු ලැබූ විශේෂ ගුවන් යානයකිනි. තමන් බොලිවියාවෙන් පිටවී යන්නේ සතුටින් නොවන බවත්, මතු යම් දිනෙක ශක්තියෙන් සහ ජවයෙන් තමන් යළි තම මවු රටට පැමිණෙන බව මෙක්සිකෝව බලා ගුවනින් යද්දී, මොරාලේස් ට්විටර් පණිවුඩයක් හරහා පවසා ඇත.
60 හැවිරිදි මොරාලේස්, බොලිවියාවේ ජනපති ධුරයට පත්වුණු පළමු ස්වදේශිකයාය. මොරාලේස් බොලිවියාවේ ජනපති ධුරයට පත් වූයේ 2006 දී විශිෂ්ට ජන වරමකිනි.

ලා පාස්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS