බි‍්‍රතාන්‍ය මහ මැතිවරණය ඇරැඹේ



බි‍්‍රතාන්‍ය මහ මැතිවරණය මේ වනවිට ආරම්භ වී ඇත. මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත්, ‘බ්‍රෙක්සිට්’ කි‍්‍රයාවලිය සම්පූර්ණ කර ගැනීමට නොහැකි වූ බැවින් පස් වසරක් ඇතුළත බි‍්‍රතාන්‍යයේ පැවැත්වුණු තෙවැනි මහ මැතිවරණය මෙයයි.

මහා බි‍්‍රතාන්‍ය, එසේත් නැතිනම් එක්සත් රාජධානිය යනු එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය සහ අයර්ලන්තයයි. අද (12) දිනයේ හදිසි මැතිවරණයක් පැවැත්වීම සිදුවූයේ පාලක කොන්වසටිව් පක්ෂයේ නායකයා මෙන්ම අගමැතිවරයා ද වන බොරිස් ජොන්සන් මහ මැතිවරණයක් කැඳවූ බැවිනි.

මහා බි‍්‍රතාන්‍යයේ පාලක පක්ෂ නායකයාට අගමැති ධුරය හිමිවෙයි. අගමැති ජොන්සන් පාලක කොන්සවටිව් පක්ෂ නායකයා වූයේ පක්ෂ අභ්‍යන්තරයේ පැවැති ඡුන්ද විමසුමකිනි. ඒ, බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය සම්පූර්ණ කර ගැනීමටය.

බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය සම්පූර්ණ කිරීමට අගමැති ජොන්සන් ඉදිරිපත් කළ යෝජනා පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමට නොහැකි විය. ඒ, විපක්ෂ කම්කරු පක්ෂයෙන් පමණක් නොව, කොන්සවටිව් පක්ෂයේ ඇතැම් මන්තී‍්‍රවරුන්ගෙන් ද ඊට විරෝධයක් පළ වූ නිසාය.

අගමැති ජොන්සන් උත්සාහ ගත්තේ පොදු එකඟතාවක් ඇතිව හෝ නැතිව මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් කර ගැනීමටය. එකඟතාවක් සමඟ යුරෝපා සංගමයෙන් ඉවත්වීම බි‍්‍රතාන්‍යයට වාසියක් බව බොහෝ දේශපාලනඥයන්ගේ අදහසය.

කම්කරු පක්ෂය ද බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය සම්පූර්ණ කිරීමට වෙනම යෝජනාවක් සකස් කර ඇත. ඒ අනුව, කොන්සවටිව් පක්ෂය සහ විපක්ෂය වන කම්කරු පක්ෂය අතර තියුණු සටනක් පැවැත්වෙනු ඇතැයි බි‍්‍රතාන්‍ය පුවත් සේවා පෙන්වා දී ඇත. කම්කරු පක්ෂය ජයග‍්‍රහණය කළහොත් අගමැති ධුරය හිමිවන්නේ ජෙරමි කෝර්බින්ටය.

ලන්ඩනයේදීය (ඒ.එෆ්.පී./බී.බී.සී.)


RECOMMEND POSTS