පාප්තුමා සිරකරුවන් 12 දෙනකුගේ දෙපා සෝදා සිපගනී



පාස්කු සිකුරාදා දේව මෙහෙයට පෙර දින (ඊයේ 18) සවස ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් රෝම අගනුවර වෙල්ලේත්‍රී බන්ධනාගාරයට ගොස්, බන්ධනාගාරයේ රැඳෙවියන් 12 දෙනකුගේ පාද සෝදා සිප ගත්තේය.

පාප් ධුරයට පත්වීමෙන් පසු ෆ්‍රැන්සිස් පාප්තුමන් මේ අයුරින්, සිරකරුවන්ගේ පාද සෝදා සිප ගත් පස්වැනි අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

කුරුසියේ ඇණ ගැසීමට පෙර, බන්ධනාගාරගත කළ ජේසුතුමන්ගේ මානවදයාව පිළිඹිබු කරමින්, පාප්තුමන් රැඳෙවියන්ගේ පාද සෝදා සිප ගැනීම සාම්ප්‍රදායිකව සිදු කරනු ලබයි.

වෙල්ලේත්‍රී බන්ධනාගාරයට සැපත් වුණු අවස්ථාවේදී පාප්තුමන්ට බන්ධනාගාර බලධාරීන් සහ නියාමකවරුන්ගෙන් ඉතා ගෞරවණීය පිළිගැනීමක් හිමිවුණු බව ද වාර්තා වේ. ඉතාලියේ සෙසු බන්ධනාගාර සේම මෙම වෙල්ලේත්‍රී බන්ධනාගාරයට ද මේ වනවිට පමණ ඉක්මනා රැඳෙවියන්ගෙන් පිරී පවතින බව වාර්තා වේ.

පාද සෝදා සිපගත් රැඳෙවියන් 12 දෙනාගෙන් නව දෙනෙක් ඉතාලි ජාතිකයෝය. අනෙක් තිදෙනා බ්‍රසීල, මොරොක්කෝ සහ අයිවරි කෝස්ට් රාජ්‍යයේ වැසියන්ය.

පාප්තුමන් සිය සම්ප්‍රදාය සුරකිමින්, රැඳෙවියන් අසට ගොස් දණ ගසා ගනිමින් පාද සෝදා පිරිසුදු කළේත් සිප ගත්තේත් කොන්දේ ආබාධයකින් පීඩා විඳිමින් සිටින අවස්ථාවක බව වතිකාන වාර්තා සඳහන් කරයි. පාප්තුමන්ට දණ ගසා ගැනීමටත් පාද සොදා සිප ගැනීමෙන් පසු නැගී සිටීමටත් එතුමන්ගේ ආධාරකරුවන් පිහිට වුණැයි ද විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.

පසුගිය වසරේ පාස්කු දින දේව මෙහෙයට පෙර පාප්තුමන් පාද සෝදා සිපපත් රැඳෙවියන් අතර මුස්ලිම් කාන්තාවෝ දෙදෙනෙක් ද වූහ. එම අවස්ථාවේදී පාප්තුමන් මුස්ලිම් කාන්තාවන් දෙදෙනකුගේ පාද සෝදා සිප ගැනීම සම්බන්ධයෙන් ආන්දෝලනයක් ද හටගත්තේය.

වතිකානයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS