ප්‍රංශ ජනපතිවරණය ඇරැඹේ



ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගේ තර්ජන හමුවේ දැඩි ආරක්ෂාවක් මැද ප්‍රංශ ජනාධිපතිවරණය අද ඇරැඹේ.

ජනපතිවරණ ආරක්ෂක කටයුතු වෙනුවෙන් 50,000 ක පොලිස් බළඇණියක් සහ 7,000 ක හමුදා බළඇණියක් පැරිසිය ඇතුළු ප්‍රධාන නගරවලට යොදවන බව ප්‍රංශ පුවත් සේවා වාර්තා කරයි.

ජනපතිවරණයට අපේක්ෂකයෝ 11 දෙනෙක් සහභාගී වෙති. ප්‍රධාන වශයෙන් අන්ත දක්ෂිණාංශික සහ අන්ත වාමාංශික ලෙස දේශපාලන කඳවුරු දෙකකි.

ජනපතිවරණයෙන් කිසිවකුටවත් සියයට 50 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වුවහොත් ලබන මැයි 6 වැනිදා දෙවැනි වටයක් පැවැත්වෙයි. කෙසේ නමුත් 60 දශකයෙක් පසු මේ දක්වා දෙවැනි වටයක් පැවැත්වීමට සිදුවී නැත.

අපේක්ෂකයන් 11 දෙනා අතරින් ඉදිරියෙන් සිටින්නේ අපේක්ෂකයන් සිවු දෙනෙකි. කොන්සවර්ටිව් පක්ෂ අපේක්ෂක ෆ්‍රන්සුවා ෆිලොන්, අන්ත දක්ෂිණාංශික ජාතික පෙරමුණ පක්ෂ නායිකා මැරීන් ල පෙන්, ධනවාදී පක්ෂ පක්ෂ නායක ඉමැනුවෙල් මැක්රොන් සහ අන්ත වාමාංශික පක්ෂය නියෝජනය කරන ජෝන් ලූක් මෙලෙන්කොන් ඒ අතර වෙයි.
බොහෝ දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස වී ඇත්තේ ෆ්‍රන්සුවා ෆිලොන් සහ අපේක්ෂා මැරීන් ල පෙන් අතර ද්වන්ධ සටනක් පැවැත්වෙනු ඇති බවය. එයින් ද මැරීන් ල පෙන් ජයග්‍රහණය කරනු ඇතැයි විශ්වාස කෙරේ.

මරණ දඬුවම ගෙනා යුතු බවත්, ප්‍රංශයේ ජාතික ආරක්ෂාවට සහ ප්‍රංශ වැසියන්ට ප්‍රමුඛත්වය දී කටයුතු කළ යුතු බවත් මැරීන් ල පෙන් ප්‍රමුඛ ඇගේ ‘ජාතික පෙරමුණ’ පක්ෂයේ අදහස වී ඇත.

‘ජාතික පෙරමුණ’ පක්ෂය මේ වනවිට ප්‍රංශ වැසියන් බොහෝ දෙනකුගේ ප්‍රසාදයට පාත්‍ර වී ඇත. අන්ත දක්ෂිණාංශික පක්ෂයක් මීට පෙර කිසිදු අවස්ථාවක මෙතරම් ප්‍රංශ වැසියන් අතරේ ජනප්‍රිය වී නැතැයි ද දේශපාලන විශ්ලේෂකයෝ වැඩි දුරටත් පැහැදිලි කර ඇත.

ප්‍රංශ ව්‍යවස්ථාව අනුව වත්මන් ප්‍රංශ ජනපති ෆ්‍රන්සුවා ඕලන්ද් ට තවත් ධුර කාලයක් සඳහා ඉල්ලීමට නෛතික අයිතියක් ඇත. කෙසේ නමුත් ජනප්‍රියත්වය සීඝ්‍රයෙන් පහළ වැටී ඇති හෙයින් තමා දෙවැනි ධුර කාලයක් අපේක්ෂා නොකරන බව පවසමින් ඕලන්ද් ජනපතිවරණයට ඉදිරිපත් නොවන බව කල්තියා දැනුම් දී තිබුණි.

පසුගිය බ්‍රහස්පතින්දා පැරිස් නුවර ෂොම්ස්දෙලීසේ ස්මාරකය අසල පොලිස් නිලධාරීන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියකට වෙඩි ප්‍රහාරයක් එල්ල විය.

එම වෙඩි තැබීමෙන් එක් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්විය. තවත් දෙදෙනකු තුවාල ලැබූ අතර වෙඩි තැබීම කළ 39 හැවිරිදි කරීම් ෂෙෆූරී නමැති මුස්ලිම් සම්භවයක් සහිත පුද්ගලයා පොලිසිය පෙරළා කළ වෙඩි තැබීම්වලින් ජීවිතක්ෂයට පත්වූයේය. ප්‍රහාරයේ වගකීම අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය විසින් බාර ගනු ලැබිණි.

 (ඒ.එෆ්.පී./රොයිටර්)

 


RECOMMEND POSTS