නායකයා සාමයට සූදානම්



දකුණු කොරියානු රජය නියෝජනය කරමින්, උතුරු කොරියාවේ පියොන්යැංග් අගනුවරට පැමිණ සිටින දකුණු කොරියානු නියෝජිත පිරිස උණුසුම් ලෙස පිළිගනිමින්, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් කියා සිටියේ දකුණු කොරියාව සමඟ සමීප මිතුදම් පැවැත්වීමට තමන් සූදානම් බවය.

දස දෙනකුගෙන් සමන්විත දකුණු කොරියානු නියෝජිත පිරිස, සෝල් අගනුවර සිට උතුරු කොරියාවට පැමිණියේ 5 සවසය. ඒ, විශේෂ ගුවන් යානයකිනි. කරමින්, උතුරු කොරියාවේ පියොන්යැංග් අගනුවරට පැමිණි ඔවුන්ට ඉතා උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

දකුණු කොරියානු නියෝජිත පිරිසට නායකත්වය දෙන්නේ ජාතික ආරක්ෂක ප්‍රධානී චැංග් ඉයු යොංග්ය. දකුණු කොරියානු නියෝජිත පිරිසක් මේ අයුරින් උතුරු කොරියාවට පැමිණීම ඓතිහාසික සිදුවීමක් විය. 5 රාත්‍රියේ, උතුරු කොරියානු නායකයා, දකුණු කොරියානු  නියෝජිතයන් සමඟ රාත්‍රී භෝජන සංග්‍රහකට ද එක් විය. තමන් සිතුවාට වඩා උතුරු කොරියා නායකයා ආගන්තුක සත්කාර හොඳින් දන්නා, විනෝදබර චරිතයක යැයි දකුණු කොරියානු නියෝජිතයෝ මාධ්‍ය හමුවේ පවසා තිබුණි.

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ උතුරු කොරියානු රජයේ ජ්‍යෙෂ්ඨයන් සහ දකුණු කොරියානු නියෝජත පිරිස සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වීය. එහිදී උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් හමුවන, ‘කොරියා’ සමුළුවක් පැවැත්වීමට ද කතාබහ විය.

උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර මේ අයුරින් හොඳහිත වර්ධනය වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන්ගේ නම්‍යශීලී ප්‍රතිපත්තිය.

දකුණු කොරියා ජනාධිපති පසුගිය දා දකුණු කොරියාවේ පැවැති සීත ඔලිම්පික් උළෙලට උතුරු කොරියානුවන් ගෙන්වා ගත්තේය. ඒ, ජාත්‍යන්තරයේ ද සහාය ලබා ගනිමිනි. උතුරු කොරියානුවන් සහ දකුණු කොරියානුවන් ක්‍රීඩා කළේ ‘කොරියාව’ ලෙස එකමුතු වෙමිනි.

සීත ඔලිම්පික් උළෙල සමඟ උණුසුම් වුණු සබඳතා තව තවත් වර්ධනය කර ගැනීමේ අරමුණින්, උතුරු කොරියාවේ ආරාධනාව පරිදි දකුණු කොරියානු නියෝජිත පිරිස උතුරු කොරියාව බලා ගියහ. දකුණු කොරියානු ජනපතිවරයාට උතුරු කොරියාවට පැමිණෙන්නැයි ද උතුරු කොරියානු නායකයා ආරැයුම් කර ඇති බව ද මාධ්‍ය වාර්තා කරයි.
කොරියානු යුද්ධයෙන් පසු බෙදී වෙන්වී සිටියත්, උතුරු කොරියාවේත් දකුණු කොරියාවේත් සිටින්නේ එකම ජාතියකි.

කොරියානු යුද්ධයෙන් පසු දකුණු කොරියාව ඇමෙරිකාව සමඟ මිතුරු වී සිටී. ඒ අනුව, ඇමෙරිකන් හමුදා කඳවුරු දකුණු කොරියාවේ පිහිටුවා ඇත.

දකුණු කොරියාව ඇමෙරිකාව සමඟ එක් වී යුද අභ්‍යාස පවත්වයි. මෙය උතුරු කොරියාවේ පමණක් නොව, චීනයේ ද දැඩි විරෝධයට හේතුවක් වී ඇත. චීනය සමීපවී සිටින්නේ උතුරු කොරියාව සමඟය. උතුරු කොරියාවේ මිසයිල සහ න්‍යෂ්ටික කටයුතුවලදී සහාය දෙන්නේ ද චීනයයි.

ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනපති ධුරයට පත්වූයේ උතුරු කොරියාව සමඟ යහපත් සබඳතා ඇති කර ගන්නවා යැයි පොරොන්දුවක් දෙමිනි. උතුරු කොරියානුවන්ගෙන් එල්ල වන තර්ජනවලට තර්ජනවලින් ප්‍රතිචාර දැක්වූවත්, ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් සැමවිටම කියා සිටියේ නිසි වාතාවරණයක් පවතින්නේ නම්, උතුරු කොරියානු නායකයා හමුවී අර්බුදය අවසන් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන බවය.

(රොයිටර්)


RECOMMEND POSTS